මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ, දේශීයව බඳවාගත් නිලධාරිනියක් පසුගිය 25 වැනිදා පැහැරගෙන ගොස් ප්‍රශ්න කර ඇති බව ස්විස්ඉන්ෆෝ නමැති වෙබ් අඩවියක් වාර්තා කර තිබුණා.
ඒ අනුව ස්විට්සර්ලන්ත රජය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයයෙන් ඉල්ලා සිටියේ ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
කෙසේ වෙතත් සිද්ධිය පිළිබඳ සැළවූ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භකළ අතර විමර්ශනවලට සහය දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කළා.
මේ අතර ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමඟින් සඳහන් කර ඇත්තේ තම නිලධාරිනියක මහමගදී බලහත්කාරයෙන් මෝටර් රථයක නංවාගත් නාදුනන පිරිසක් ඇයට දීර්ඝලෙස තර්ජනය කර ඇති බවයි.
තානාපති කාර්යාලයට අදාළ තොරතුරු හෙළි කරන ලෙස ඇයට බල කර ඇති බවද නිවේදනයේ දැක්වෙනවා.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, සිද්ධිය වූ වහාම තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත නීත්‍යානුකූලව පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා ශ්‍රී ලංකා බලධාරීන් වෙත පූර්ණ සහය ලබාදීමට සූදානම් බවයි.
තව ද වින්දිතයාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම නිසා ඇය මේවන විට ප්‍රකාශයක් ලබාදීමට සුදුසු තත්ත්වයක නොසිටින බවත් නිවේදනයේ දැක්වෙනවා.
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු අයෙක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ස්විට්සර්ලන්තයෙන් පිටුවහල් කරන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම ස්විස් රජය ප්‍රතික්ෂේප කළ බවට චෝදනාවක් එල්ල වී ඇතත් ශ්‍රී ලංකා රජයෙන් තම රජයට එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවයි.
මේ අතර වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තම කොමිෂන් සභාව දැඩි අවධානයෙන් පසුවන බවයි.
මෙම සිද්ධිය සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති බැවින් ඒ සම්බන්ධ කඩිනම් සහ අපක්ෂපාතී විමර්ශනයක් සිදුකරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ලිපිය මගින් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධනේ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2019-11-27 වන දින විමර්ශනයක් ආරම්භ කළ බවයි.
ස්විට්සර්ලන්ත තානාපතිවරයාද දැනුවත් කරමින් විමර්ශන සඳහා වැඩිදුර තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බවත් ඒ අනුව තානාපති කාර්යාලය සතු තොරතුරු කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති බවත් නිවේදනයේ දැක්වෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ සිද්ධිය පිළිබඳ විමර්ශනවලට සහය වීම පිණිස කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් සහ පොලිස් සමීප රූප ආවේෂණ කැමරා කොට්ඨාසය හෙවත් CCTV කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක්ද යොදවා ඇති බවයි.
අදාළ පැහැරගැනීම සිදුකළ බව කියන සැකකරුවන් වින්දිත තැනැත්තියට තර්ජනය කරමින් පවසා ඇත්තේ සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන බව නමුත් එය විමර්ශකයින් නොමඟ යැවීම සඳහා සැකකරුවන් කළ අසත්‍ය ප්‍රකාශයක් බවද පොලිසිය පවසනවා.
දේශපාලන අවශ්‍යතා මත මතභේදාත්මක ආකාරයෙන් පරීක්ෂණ මෙහෙයවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සමඟ සේවය කළ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා පසුගියදා ස්විට්සර්ලත්නයට පළාගියා.
මෙරට නීතිය අනුව නිසි අවසරයකින් තොරව රාජ්‍ය නිලධාරියෙකුට විදෙස් ගතවීමට හැකියාවක් නැහැ.
එවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරියෙක් ස්විට්සර්ලන්තයට පලායාමට මෙරට ස්විස් තානාපති කාර්යාලයේ ඇතැම් නිලධාරීන්ගේ සහය හිමිවූ බවට සුගිය දා මාධ්‍ය වාර්තා පලවුණා.
මේ අතර ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරිනියක් පැහැරගෙන ගොස් ප්‍රශ්න කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පලකළා. VIDEO