ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා විසින් පිරිනැමූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගීවුණා.
ඒ ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපති භවන්හීදී.
මෙහිදී අදහස් දක්වමින් ඉන්දීය ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරය දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වයට සහ දකුණු ආසියානු කලාපයේ ඉදිරි ගමනට ශක්තියක් බවයි.
ගේඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් සකසා ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය රටේ සියලු අංශයන්හී වේගවත් ප්‍රගමනයට හේතුවක් වනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බවද ඉන්දිය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා මෙහිදී ප්‍රකාශකර තිබෙනවා.
දෙරට අතර ඓතිහාසික සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් වෙළෙඳ, ආර්ථික, සමාජීය සබඳතා ඉහළ නංවා ගැනීමට කටයුතු කරන්නේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඉන්දියානු රාජ්‍ය ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය ජෙනරාල් වී.කේ. සිං මහතා හමුවුණා.
මෙම හමුවේ විශේෂත්වය වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙක් ලෙස ඉන්දියාවේ පුහුණුව ලබන අවස්ථාවේ ජෙනරාල් වී.කේ. සිං මහතා හා ජනාධිපතිවරයා එකම කඳවුරේ සිටි සමීප මිතුරන් වීමයි.
මෙම අවස්ථාවට ඔවුන් දෙදෙනා හා එවක පුහුණුව ලැබූ තවත් ඉන්දීය විශ්‍රාමික හමුදා නිලධාරීන් 15 දෙනෙකු පමණ එක්ව සිටියා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම හමුව දේශපාලනික හමුවක් නොව අතීතය පිළිබඳ ස්මරණය කෙරුණු සුහදශීලී පිළිසඳරක් බවට පත් වූ බවයි.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දහවල් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් හමුවුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ භාරතීය ජනතා පක්ෂයේ මහලේකම් රාම් මාදෙව් මහතා හමු වී සාකච්ඡාවක නිරත වුණා. VIDEO