පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද සිය වාර්තාව සභා ගත කළා.
රාජ්‍ය බුද්ධි ප්‍රධානියා, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුලු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දේශපාලනඥයින් පිරිසක්ද සිය වගකීම් පැහැර හැර ඇතැයි එම වාර්තාවේ සඳහන්.
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය මැයි 22 දා පත් කරනු ලැබුවා.
කාරක සභාව රැස්වීම් වාර 24 ක් පැවැත්වූ අතර ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුලු පුද්ගලයින් 55 දෙනෙකුගෙන් එහිදී සාක්ෂි සටහන් කර ගැණුනා.
එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතායි.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සිය වාර්තාවේ නිර්දේශ 08 ක් ඉදිරිපත් කර තිබෙනවා.
ආරක්ෂක සහ බුද්ධි අංශයේ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ.
ශාක්තිමත් මුල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම.
ආගමික අන්තවාදයේ නැගීම පාලනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අව්‍යතාවය.
අධිකරණ ප්‍රමාද සම්බන්ධයෙන් කටයුතු කිරීම, නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රතිසංස්කරණය කිරීම.
වහාබ්වාදය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය.
මාධ්‍ය වාර්තාකරණය, ව්‍යාජ පුවත් සහ අවධානය යොමුකළ යුතු අනෙකුත් ක්ෂේත්‍ර.
දේශපාලනඥයන්/ ජනතා නියෝජිතයින් වගවීමට සැලැස්වීම.
නැගී එන අන්තවාදය මැඩලිම පිණිස අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ. එම නිර්දේශයි.
සිය වාර්තාව මගින් කාරක සභාව පෙන්වා දෙන්නේ ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒවා ආරක්ෂක අංශ වෙත ලබා දීමේදි රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියාගේ පාර්ශ්වයෙන් බරපතල අසාර්ථකවීමක් සිදුව ඇති බවයි.
ඒ අනුව රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට වැඩි වගකීමක් පැවරෙන බව කාරක සභාව පවසනවා.
එසේම ප්‍රහාරය පිළිබඳ දැනුවත්ව තිබියදී එය වැලැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ආරක්ෂක අමාත්‍යංශය, පොලිස්පතිවරයා, ජාතික බුද්ධි ප්‍රධානියා සහ යුද හමුදා බුද්ධි අංශය අපොහොසත් වී ඇති බව කාරක සභා වාර්තාවේ සඳහන්.
වසර අගභාගයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් රට තුළ බියක්, අවිනිශ්චිත තත්ත්වයක් සහ කැළඹිලි ඇති කිරීම අරමුණු කරගනිමින් ලැබුණු බුද්ධි තොරතුරු මත කටයුතු නොකළේ දැයි සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණයක් සිදු විය යුතු බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සිය වාර්තාව මගින් පෙන්වා දෙනවා.
මීට අමතරව ජනාධිපතිවරයා විසින් හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීම් කැඳවීම මගින් හා ප්‍රධාන පුද්ගලයින් ඊට සහභාගී කර නොගැනීමෙන් රජය සහ එහි පද්ධතීන් දුර්වල කර ඇති බව කාරක සභාවේ අදහසයි.
ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වීම් පිළිවෙළකට පැවැත්වීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා වගබලාගත යුතු බව සදහන් කරන විශේෂ කාරක සභාව ඒ සම්බන්ධයෙන් කපිල වෛද්‍යරත්න සහ හේමසිරි ප්‍රනාන්දු යන හිටපු ආරක්ෂක ලේකම්වරු දෙදෙනාම වරදක් සිදුකර ඇති බව පෙන්වා දෙනවා.
ප්‍රහාරය පිළිබඳ ලද බුද්ධි තොරතුරු දේශපාලන නායකත්වය සහ ආරක්ෂක හමුදා දැනුවත් කිරීමට අවශ්‍ය පියවර නොගැනීම හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්වරයාගේ බරපතළ අඩුපාඩුවක් බවද තේරීම් කාරක සභාවේ නිරීක්ෂණයයි.
පොලිස්පතිවරයා විසින් සිදුකර ඇති අඩුපාඩු කිහිපයක් ද පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලීමට පත්කළ විශේෂ කාරක සභා වාර්තාවේ සඳහන්.
කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදුවූ පිපිරීම සහ ලැබුණු බුද්ධි තොරතුරු පිළිබඳ නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් නොකිරීම, දේශපාලන නායකත්වය දැනුවත් නොකිරීම, බිම් මට්ටමේදී ගත යුතු පියවර පිළිබඳ ප්‍රමාණවත් උපදෙස් යටත් නිලධාරීන්ට ලබානොදීම ඒ අතර වනවා.
පොලිස්පතිවරයා විසින් ක්ෂණික සහ ශක්තිමත් පියවරයන් ගෙන බිම් මට්ටමේ සුදානම් වීම සඳහා පැහැදිලි උපදෙස්ලබාදී තිබුණේ නම් ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එහි තීව්‍රතාවය අවම කර ගැනීමට බොහෝ දෑ කළ හැකිව තිබූ බව විශේෂ කාරක සභාවේ අදහසයි.
ඒ අනුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් යම් පුද්ගලයෙක් වරදක් සිදු කිරීම පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි රැස්කරගැනීමට හැකිවන අවස්ථාවලදී අධි චෝදනා ගොනු කිරීම සහ නඩු පැවරීම සිදු කළ යුතු බව කාරක සභාව සිය වාර්තාව මගින් නිර්දේශ කර තිබෙනවා.
මෙම වාර්තාව සභාගත කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
VIDEO