ක්රිකට් ලෝක ඉතිහාසයේ සුවිශේෂී දස්කම් දක්වමින් ශ්රී ලංකාවේ නම රැන්දූ ක්රීඩකයින් රැසක් සිටිති. ඔවුහු පිත්තෙන්, පන්දුවෙන් සහ පන්දු රැකීමෙන් දක්ෂතා දැක්වූ ලෝක ප්රකට ක්රීඩකයෝ වෙති.
මේ අතර, ක්රිකට් පුහුණුකරුවෙකු ලෙස ශ්රී ලංකාවේ නම බැබළවීමට ද ශ්රී ලාංකිකයෙකුට අවස්ථාව හිමි වී තිබේ.
ඒ, එංගලන්ත ක්රිකට් පාලක මණ්ඩලය විසින් පවත්වනු ලබන ක්රිකට් පුහුණුකරුවන්ගේ ඉහළම සුදුසුකම වන විශේෂඥ පුහුණුකරු (ECB Specialist Coach) හෙවත් සිව් වන මට්ටමේ (ECB level 4) පුහුණුකරු පාඨමාලාව හැදෑරීමට සුදුසුකම් ලැබීමය.
මෙම සුවිශේෂී අවස්ථාව හිමි කර ගත් ශ්රී ලාංකිකයා, ශ්රී ලංකාවේ හිටපු පළමු පෙළ ක්රීඩකයෙකු වන තරිඳු පෙරේරාය. ඔහු මේ වන විට එංගලන්තයේ යෝක්ෂයර් ප්රාන්තයේ පළමු පෙළ කාන්තා කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙසත් දෙවන පෙළ පිරිමි කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙසත් සේවය කරමින් සිටියි.