සැකකරු මෙම කූට ලේඛනය සකසා ඇත්තේ තම අනියම් පෙම්වතියට තමන්ගෙන් උපන් දරුවාට අවශ්‍ය උප්පැන්නය සැකසීමට රෝහල ඔවුන්ගේ විවාහ සහතිකය ඉල්ලා සිටීම හේතුවෙනුයි.
සැකකරුගේ අනියම් පෙම්වතියද විවාහක තැනැත්තියක් බවත් ඇයද තිදරු මවක් බවද පොලිසිය පවසනවා.
සැකකරු මෙසේ වෙනස් කිරීමට ගොස් ඇත්තේ සැකකරුගේ අනියම් පෙම්වතියගේ විවාහ සහතිකය බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේයි.
සැකකරු මහර, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි තිස් අට හැවිරිදි තිදරු පියෙක්.
මොහු මුහුණු පොත (ෆේස්බුක්) හරහා මාතර පිටබැද්දර ප්‍රදේශයේ කාන්තාවක් සමඟ මිතුරුකමක් ඇති කර ගෙන පසුව පෙම්වතුන් වී තිබෙනවා.
එම කාන්තාවද තිදරු මවක් බවත් ඇයටද පිළිවෙළින් වයස අවුරුදු දහසය, එකොළහ හා වයස අවුරුදු හත යන වයස් සීමාවල දරුවන් තිදෙනකු සිටින බවත් පොලිසිය පවසනවා.
එම කාන්තාවගේ සැමියා වෘත්තියෙන් පෙදරේරුවකු බවයි වාර්තා වන්නේ.
කලක් හොර රහසේ පෙම්වතුන් ලෙස සිටි මොවුන් පසුව තම දරුවන් අතහැර දමා පැමිණ කාටත් රහසේ බුත්තල ප්‍රදේශයේ පදිංචි වී සිට තිබෙනවා.
මේ අතරතුර සැකකරුට දාව මෙම කාන්තාවට දරුවකු මොනරාගල මහ රෝහලේදී ලැබී ඇති බව සඳහන්.
එහි රෝහල් බලධාරීන් විසින් මෙම දරුවා ලියාපදිංචි කර උප්පැන්න සහතිකය සැකසීම සඳහා මෙම කාන්තාවගේ විවාහ සහතිකය හා ඔවුන් දෙපළගේ ජාතික හැඳුනුම්පත් ඉල්ලා තිබෙනවා.
සැකකරු හා මෙම කාන්තාව නීත්‍යනුකූලව විවාහ වී නොසිටීම හේතුවෙන් සැකකරු විසින් මෙම කාන්තාවගේ කලින් විවාහයේ විවාහ සහතිකය ගෙන එහි නම් වෙනස් කර කූට ලේඛනයක් සකසා රෝහල් කාර්ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
මෙම විවාහ සහතිකය පිළිබඳව සැක සිතූ රෝහල් බලධාරීන් මේ පිළිබඳව රෝහල් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව රෝහල් පොලිසිය මේ පිළිබඳව මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබෙනවා.
කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මේ පිළිබඳව සිදුකළ විමර්ශනයකින් පසු සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර තම විවාහක බිරියට ඇගේ අනියම් පෙම්වතාට දාව දරුවකු මොනරාගල රෝහලේදී ප්‍රසූත කර ඇති බවට තොරතුරු ලැබීමෙන් පසුව ඔහුද මොනරාගලට පැමිණ මේ පිළිබඳව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබෙනවා.
සැකකරු තමන් කූට ලේඛනයක් සැකසූ බවට පිළිගත් බවද පොලිසිය පවසනවා.
ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන්ගේ කලින් බිරිය යක්ෂණියක් බඳු කාන්තාවක් නිසා තමන් ඇය අතහැර මෙම කාන්තාව සමඟ පැමිණ එකට සිටි බවයි.
අත්අඩංගුවට පත් සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබුණා.
මව්බිම