Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
14
"බෝම්බ වැලක් පුපුරලා කකුල් දෙක කුඩුවෙලා ගියත් මීටර් 100 ඉඳලා 800ට තරඟ රෙකෝඩ් තියෙන්නෙ මගේ.." - යුද බිමේදී දෙපා අහිමි වූ රණවිරු සුමිත් කරුණාරත්නගේ සංවේදී කතාව - Photos

- "බෝම්බ වැලක් පුපුරලා කකුල් දෙක කුඩුවෙලා ගියත් මීටර් 100 ඉඳලා 800ට තරඟ රෙකෝඩ් තියෙන්නෙ මගේ.." - යුද බිමේදී දෙපා අහිමි වූ රණවිරු සුමිත් කරුණාරත්නගේ සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,163 Views
පතොරම් ගෙනියන්න අපි දෙන්නෙක් පිටිපස්සට එනකොට තමයි මරඋගුල පෑගුණේ...
සිහිය ආපු ගමන් මම කකුල් දෙක අත ගාලා බැලූවා. දෙකම තිබුණේ නෑ...
සුමිත් අයියා ඉස්පිරිතාලෙන් ගෙදර ආ හැටියේ අපි කසාද බඳිනවා..
 
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී යුද්ධය අපට ඉතිරි කළ අමිහිරි මතකයන් බොහෝය. අදටත් ඒ මතකයන් අපගේ සිත් පාරවන්නේය. ත්‍රස්තවාදීන් විසින් පුපුරවා හැරිය මිනිස් බෝම්බවලට ගොදුරුව ආබාධිත වූ මිනිසුන් හමුවන විට හදවත් කම්පනයට පත්වන්නේය.
 
ඒ සාපලත් ත්‍රස්තවාදය විනාශ කිරීමට සටන් කොට අත්, පා අහිමි වූ දෙනෙත් අඳ වී ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් සමාජයේ දුක්විඳින අයුරු දකින විට අපට, අප ගැන දුක හිතෙන්නේය.

ඒ විරුවන් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින්නේ රට, ජාතියට නිදහස ලබාදීමට, ත්‍රස්තවාදය විනාශ කිරීමට ගොස්ය. එහෙයින් මේ රටේ සියලූ පුරවැසියන් ඔවුන්ට ණයගැතිය.
 
සුමිත් කරුණාරත්නට දෛවය නපුරක් කෙරිණි. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය විනාශ කිරීමේ මානුෂීය මෙහෙයුමේදී සුමිත්ට දෙපා අහිමි විය. එහෙත් ආබාධ ජීවිතයේ අවසානය කර නොගත් සුමිත් දෛවයට අභියෝග කරමින් දක්‍ෂ ක්‍රීඩකයෙක් විය. මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේ ද නම තැබූ දක්‍ෂ ක්‍රීඩකයෙක් විය.
 
සුමිත් කරුණාරත්න ජාත්‍යන්තර තරග පිටිවල දස්කම් පා මෙරටට කීර්තියක් ලබා දුන්නා පමණක් නොව සමාජයට ආදර්ශවත් චරිතයක් විය. රෝගාබාධ දඩමීමා කරගෙන සමාජයේ කාලකණ්ණීන් ලෙස ජීවත් වන ‘නිකමුන්ට’ රෝද පුටුවේ සිට දස්කම් පාන සුමිත්ගේ ජීවිතය දකින විට බඩ කපාගෙන වැළලෙන්න හිතුණොත් පුදුම නැත.
 
රණවිරු සුමිත් එතරම්ම දක්‍ෂයෙකි. දිරිය මිනිසෙකි. හේ අපට මුණගැසුණේ පිටකොටුව රණවිරු උද්ඝෝෂණ කූඩාරමේ සිටියදීය. ඇස්, ඉස්, මස් දන් දී ජාතියට රට නිදහස් කර දුන් රණවිරුවන් තම අයිතිවාසිකම් ඉල්ලාගෙන අරගල කරන අතරතුරදීය.
 
ගිනිමද්දහනේ කූඩාරම තුළ මෙට්ටයක් මත දිගා වී සිටි සුමිත් අප කතා කළ විට මෙට්ටය මත හිඳගත්තේය. ඔහු වටා ආබාධිත රණවිරුවන් කිහිපදෙනෙකි. ඒ අතර සුමිත්ගේ සහෝදරයෙක් ද සිටින බව අපට කීවේ එහි සිටි තවත් ආබාධිත රණවිරුවෙකි. ඔහු සුමිත්ගේ වැඩිමහල් සහෝදරයෙකි. හේ දිනේෂ් ඉන්දික කරුණාරත්න ය. ඔහු ද ආබාධිතයෙකි. නගර්කෝවිල්හි මානුෂීය මෙහෙයුමේ නිරතව සිටියදී කොටි ත්‍රස්තයන්ගේ කුරුරි වෙඩි උණ්ඩයකට ගොදුරුව ඔහුගේ එක අතක ජීවය නැති වී ඇත.
 
‘‘අපේ පවුලේ කොල්ලොම පස් දෙනෙක්. මම පවුලේ දෙවැනියා. අපි පස්දෙනාම හමුදාවේ...’’ සුමිත් ඒ බව කියන විට මුහුණ පුරා ආඩම්බරකම විහිදිණි. සුමිත්ගේ අයියා ද ඔහු අසළින් හිඳගත්තේය. දණහියට ඉහළින් ඉතිරි වී තිබුණු කකුල් කොට දෙක සරමෙන් වසා ගත් සුමිත් ලොකු කතාවකට ලකලෑස්ති විය.
 
සුමිත්ලගේ පියා කඩුගන්නාව ප්‍රදේශය ජීවන ගම්පියස කර ගත් ගොවිමහතෙකි. සුමිත්ගේ අම්මට දරුවන් පස්දෙනා රැකබලා ගන්නවා විනා වෙනත් දෙයක් කිරීමට ඉඩහසරක් නොලැබිණි. එම පවුලේ පිරිමි දරුවන් පස්දෙනාම හමුදා සේවයට බැඳී ඇත්තේ දෙමවුපියන්ගේ අකැමැත්ත පිටය. ඒ ජීවත්වීම උදෙසා පඩියක් බලාපොරොත්තුවෙන් පමණක්ම නොවේ, ඉපදුණු රට ජාතියට තමන්ගෙන් විය යුතු යුතුකම ඉටුකිරීමටය.
 
‘‘මම හමුදාවට බැඳුණේ 2000 අවුරුද්දේ පෙබරවාරි 19 වැනිදා. එතකොට මට වයස අවුරුදු පහළොවයි, මාස අටයි. සාමාන්‍ය පෙළ විභාගය කරලා ප්‍රතිඵල එනකම්වත් හිටියේ නෑ. ප්‍රතිඵල එනකොට මම හමුදා සෙබළෙක් විදිහට පුහුණු වෙනවා. විෂයයන් අටයි, සම්මාන පහක් එක්ක මම සාමාන්‍ය පෙළ විභාගයත් පාස්. ඒ අධ්‍යාපන සුදුසුකම් රාජකාරි ජීවිතයට ලොකු පිටිවහලක් වුණා...’’
 
‘‘අපි හමුදාවට බැඳිලා ටික දවසක් යනකොට සාම සාකච්ඡා ආරම්භ වුණා. ඒ එක්ක අපිට පුහුණු පාඨමාලා වැඩි වුණා. යුද පුහුණුව වගේම දෙමළ භාෂාව ඉගැන්වීමේ පාඨමාලා කෙරුණා. ඒ සියලූ පුහුණු පාඨමාලා මම ඉතාම හොඳින් කළා. 2005 අවුරුද්දේ ඕමන්තේ ඉඳලා වැලිඔයට ගියා. ඒ ගිහින් අවුරුද්දක් විතර යනකොට තමයි මානුෂීය මෙහෙයුම පටන් ගත්තේ. එතැන ඉඳලා අපි ක්‍රියාන්විත රාජකාරිවල...’’
 
‘‘කුඩා කණ්ඩායම් වශයෙන් බැහැලා එල්.ටී.ටී.ඊ. බංකර්වලට පහර දීලා විනාශ කරලා තියෙනවා. කොටි බංකර්වලට ගහලා උන්ගේ බඩුත් අරගෙන ඇවිත් තියෙනවා. සමහර අවස්ථාවලදී කොටි ප්‍රදේශවලට බැහැලා දවස් ගණන් කැලේ හැංගිලා ඉඳගෙන ක්ලේමෝ තියලා කොටි නායකයන් විනාශ කරලා තියෙනවා. ඒ කිසිම අවස්ථාවකදී පුංචි සීරීමක්වත් වෙලා තිබුණේ නෑ. මට වෙඩි වැදුණේ 2008 අවුරුද්දේ අප්‍රේල් 17 වැනිදා. එදා අපි ඉරණමඩු කමල් බේස් කොටි කඳවුර මුදාගන්න පහරදෙමින් හිටියේ. අපේ කණ්ඩායම කොටි ආරක්‍ෂක වළලූ බිඳගෙන කඳවුර ආසන්නයටම ගිහින් හිටියේ. ගහගෙන යනකොට අපේ කිහිපදෙනෙකුගේම පතරොම් ඉවර වුණා. පතොරම් ගෙනියන්න අපි දෙන්නෙක් පිටිපස්සට එනකොට තමයි මරඋගුල පෑගුණේ. ඒක බෝම්බ වැලක්. එකක් පෑගුණු ගමන් වැලට තියෙන සේරම බෝම්බ පිපිරෙනවා. මට ඉදිරියෙන් ආපු කෙනාට කිසිම හානියක් වුණේ නෑ. මරඋගුල පෑගුණු මට විතරයි තුවාල වුණේ. බෝම්බ පොකුරක් පුපුරලත් මගේ ජීවිතේ බේරුණේ පූරුවේ පිනකටම තමයි. ඒත් එක කකුලක් එතැනම ගැලවිලා ගියා. අනිත් කකුළේ මස් වැල් වුණා. දකුණු අතේ ඇඟිලි තුනක් තුවාල වුණා. එහෙම තුවාල වෙලත් මට හොඳට සිහිය තිබුණා. බඩ ගාගෙන ඉදිරියටත් ආවා. ඒ එනකොට තමයි මාත් එක්ක ගිය අනිත් කෙනා උස්ස ගත්තේ...’’
 
‘‘බෝම්බ පුපුරලා මට තුවාල වෙනකොට අපි හිටියේ කැලේ ඇතුළටම වෙන්න. මාත් එක්ක ආපු කෙනා මාව ගොඩක් දුර උස්සගෙන ඇවිත් තමයි ට්‍රැක්ටරයට දැම්මේ. ට්‍රැක්ටරයෙන් ගෙනත් ඇම්බියුලන්ස් එකට දාලා වැලිඔය සම්පත් නුවරට එනකොට හවස 6.20 ට විතර වුණා. මට තුවාල වෙනකොට හවස 3.15 යි. වැලිඔය සම්පත් නුවරින් චොපර් එකට දානකොටත් මට සිහිය තිබුණා. මුළු ඇඟම හිරිවැටිලා වගේ තිබුණු නිසා වේදනාවක් දැනුණෙත් නෑ. ඒත් චොපර් එකට දානකොට සිහිය නැතිවෙන්න බෙහෙතක් විද්දා. පහුවදා දවල් එකොළහට විතර තමයි සිහිය ආවේ. එතකොට මම හිටියේ අනුරාධපුර රෝහලේ. සිහිය ආපු ගමන් මම කකුල් දෙක අත ගාලා බැලූවා. දෙකම තිබුණේ නෑ. ඒ වේලාවේ නම් අත පොව්වන මානයේ කතුරක් තිබුණා නම් ඇණගෙන මැරෙනවා. ඒ තරම් හිතට වේදනාවක් ආවා...’’
 
‘‘මට ඉඳලා වැඩක් නෑ... මරා දාපියව් කියලා...’ වාට්ටුව දෙවනත් වෙන්න කෑගැහුවා. ඩොක්ටර්ස්ලා, මීසිලා මගේ ඔලූව අත ගා ගා හිත හැදුවා. ඒත් මට ජීවිතය කලකිරිලා තිබුණේ. ඊට සති දෙකකට විතර පස්සේ තව ඔපරේෂන් වගයක් කරන්න තියෙනවා කියලා නාරාහේන්පිට යුද හමුදා රෝහලට මාරු කළා. හමුදා රෝහලට අරගෙන ආවේ මැයි මාසෙ 19 වැනිදා. අප්‍රියෙල් 17 වැනිදා තුවාල වුණාට පස්සෙ හමුදා රෝහලට ආපු දවසෙ තමයි බත් වේලක් කෑවේ. කන්න පිරියක් තිබුණේම නෑ. ඒත් ඉතිං ඉස්පිරිතාලේ ඉන්නකොට හිතට අමුතු දේවල් මතක් වුණා. අබ්බගාත වෙච්ච මාව ආදරය කරපු ගෑනු ළමයා කසාඳ බඳින්න කැමති වෙන එකක් නෑ කියලා හිතුණා. මම ඒකට සතුටු වුණා. මගේ පව්වලට ඒ අහිංසකී වන්දි ගෙවන්න ඕන නෑ... අපේ සම්බන්ධය නතර කරලා එයාට වෙන අතක් බලාගන්න කියන්න ඕන... මම ඉස්පිරිතාලයේදී කල්පනා කළා. ඒත් මගේ කෙල්ල මාව බලන්න ඉස්පිරිතාලයට ආපු මුල්ම දවසේ කිව්ව ‘සුමිත් අයියා ඉස්පිරිතාලෙන් ගෙදර ආ හැටියේ අපි කසාද බඳිනවා කියලා... ඒ කිව්වා වගේම හමුදා රෝහලේ ඉඳලා ගෙදර ගියේ 2008 අවුරුද්දෙ ජූලි මාසෙ මුල. ඒ මාසෙම 27 වැනිදා අපි කසාද බැන්දා. එතකොට අපි දෙන්නා යාළු වෙලා අවුරුදු දෙකයි. කසාද බැඳලා ආයෙමත් මම ප්‍රතිකාර ගන්න හමුදා රෝහලට ඇතුළත් වුණා. කකුල් දෙක හොඳටම හොඳ වුණාට පස්සෙ රාගම රණවිරු සෙවණට දැම්මා. එතැන මාස හයක් විතර ඉඳලා, යකඩ කකුල් දාලා ඇවිදින්න පුහුණු වෙලා තමයි ගෙදර ආවේ. ඒ ඇවිල්ලත් වැඩි දවසක් ගෙදර හිටියේ නෑ. ක්‍රීඩා පුහුණුවීම් කටයුතුවලට අඹේපුස්ස පුහුණු පාසලට ගියා. රෝද පුටුවේ ඉඳගෙන කරන ක්‍රීඩා ඉසව් දහයක් විතර පුහුණු වුණා. බැඞ්මින්ටන්, බාස්කට් බෝල්, ඉලක්කයට වෙඩි තැබීම, මැරතන් තරඟ, මීටර් 100, 200, 400, 800, 500 ධාවන තරග හොඳටම පුහුණු වුණා....’’
 
‘‘මීටර් 100, 200, 400, 800, 500 තරග ඉසව්වල අදටත් ලංකාවේ රේකෝඞ් තියෙන්නේ මගේ. මේ වෙනකොට ක්‍රීඩා තරඟ සඳහා රටවල් දහනවයකට විතර ගිහින් තියෙනවා. සමහර රටවල්වලට තුන්හතර පාර ගිහින් තියෙනවා. රන්, රිදී පදක්කම් දිනාගෙන තියෙනවා. එක වතාවක් රටවල් හැත්තෑතුනක් සහභාගි වෙච්ච තරගාවලියකට ඉදිරිපත් වුණා. ඒ තරගාවලදීයේදී පදක්කම් වැඩි අපිට. ආබාධිත තරගාවලිවලදී ලෝකයේ අනෙක් රටවල තරගකරුවන්ට වඩා අපේ කොල්ලො ඉදිරියෙන් ඉන්නවා. ඒත් අපේ රටෙන් තරගාවලිවලට ක්‍රීඩකයන් ඉදිරිපත් කරන්නේ සීමිත ප්‍රමාණයක්...’’
 
‘‘විදේශීය රටවල ක්‍රීඩා තරගාවලිවලට ඉදිරිපත් වුණාම අපිට හොඳයි. පොකට් මනිවලින් කීයක් හරි ඉතුරු කරගන්නත් පුළුවන්. එහෙම ඉතුරු කරගත්ත සල්ලි එකතු කරගෙන බැංකු ණයකුත් අරගෙන වයිෆ්ට ලැබුණු ඉඩම් කෑල්ලක අපිටම කියලා පුංචි ගේ කෑල්ලකුත් හදාගත්තා. දැන් අපි පදිංචි වෙලා ඉන්නේ මිනුවන්ගොඩ. තිළිණි නිසා තමයි අද මම මෙහෙම සතුටින් ඉන්නෙ. මගේ කකුල් දෙක නැති වුණාට යකඩ කකුල් දාගෙන ඇවිදින්න පුළුවන්. රෝද පුටුවේ ඉඳගෙන මගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒත් තිළිණි මට වැඩ කරන්න දෙන්නේ නෑ...’’ තම ජීවිතයේ සෙවණැල්ල වූ ආදරය සිහිපත් වූ විට අව්වට පිච්චී අඳුරු වී තිබූ සුමිත්ගේ මුහුණට අමුතු ආලෝකයක් ආරුඪ විය.
 
සුමිත්ගේ ආදරණීය බිරිඳ තිලිණි දිනුෂාය. ඇයගේ ගම මිනුවන්ගොඩය. කඩුගන්නාවේ සුමිත් මිනුවන්ගොඩ තිලිණි හඳුනාගෙන ඇත්තේ පුවත්පත්වල පළ වූ මිතුරු හමුවෙනි. දෙහදේ ආදර කතාවට වසර දෙකකට වැඩි නැත. එහෙත් තිලිණි අවංක ප්‍රේමවන්තියක් විය. කඩවසම්, හැඩකාර තරුණයකුට ආදරයෙන් බැඳී නොසිතූ මොහොතක ඔහු අබ්බගාතයෙක් වූ විට ඇය වෙනතක් බලා ගත්තේ නැත.
 
ප්‍රේමයේ නාමයෙන් සුමිත් සමඟ විවාහ වන විට තිළිණිට වැඩි වයසක් ද නැත. අවුරුදු 18 සම්පූර්ණ වූවා පමණි. ඒ වන විට සුමිත්ට වයස අවුරුදු විසිහතරකි. දැන් සුමිත්ගේ වයස අවුරුදු තිස්හතරකි. වසර දහයක කාලයත් තිස්සේ සිට ආබාධිතයෙක් ලෙස ශක්තිමත් මිනිසෙක් බවට පත්වීමට ශක්තිය ලබා දී ඇත්තේ ඔහුගේ ආදරණීය බිරිඳය. තම ප්‍රේමවන්තයා වෙනුවෙන් ජීවිතය ‘තිළිණ’ කළ තිළිණිට කතා කිරීමට ද අපි අමතක නොකළෙමු. සුමිත්ගේ කතාව සටහන් තබන මොහොතේ දුරකථනය ඔස්සේ අපි තිළිණි සම්බන්ධ කරගත්තෙමු.
 
‘‘සුමිත් අයියා අනතුරට පත් වෙනකොට මම උසස් පෙළ පන්තියේ ඉගෙනගන්නවා. සුමිත් අයියා අනතුරට පත් වෙලා කකුල් දෙක නැති වුණාට පස්සෙ මට හිතුණා එයාට සලකගෙන ළඟට වෙලා ඉන්න ඕනෑ කියලා. එතකොට උසස් පෙළට පන්ති පටන්ගෙන දවස් දහයයි. මම උසස් පෙළ කළෙත් වාණිජ අංශයෙන්. සාමාන්‍ය පෙළ විභාගයත් හොඳටම පාස් වුණා. ඒ නිසා ගෙදර අය කිව්වා උසස් පෙළ විභාගය ලියලා කසාද බඳින්න කියලා. ඒත් මම තීරණය වෙනස් කළේ නෑ. එදා ගත්ත තීරණය ගැන අදටත් මම සතුටු වෙනවා. දැන් අපිට පුංචි පුතෙක් ඉන්නවා...’’ තිළිණි සතුටින් කතා කරන බව දුරකථනය ඔස්සේ ගලා එන වචනවලින් මට තේරිණි. සුමිත්ගේ පුංචි පුතා යොහාන් නවිත්මය. ඔහුට වයස අවුරුදු නවයකි. සුමිත්, තිළන යොහාන් පුතා සමඟ හරිම සතුටින් ජීවත් වන බව සුමිත් ද අප සමඟ පැවසීය.
 
‘අපිට ලොකු බලාපොරොත්තු නෑ. ලැබෙන පඩියෙන් කාල, ඇඳලා ලස්සනට ජීවත් වෙනවා. ඒ පඩියත් නැති වුණොත් අපිට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. මැරෙනකම් සතුටින් ජීවත් වෙන්න අපිට අපේ පඩිය දුන්නොත් ඇති...’ සුමිත් කතාව අවසාන කළේ ඒ වචන කිහිපයෙනි.
 
මිල මුදල්, වතු පිටි, මහා ව්‍යාපාර කොතරම් තිබුණද සිතට සතුටක් නැති නම් ඒ ජීවිතවලට සැනසීමක් නැත. තම ශරීරයේ අවයව අහිමි වී ආබාධිත තත්ත්වයට පත් වුවද සුමිත් සතුටින් ජීවත් වෙයි. ලැබෙන වැටුප හොඳින් කළමනාකරණය කරගෙන ගෙවල් දොරවල් හදාගෙන සිටින සුමිත්ගේ දැන් එකම සිහිනය වී ඇත්තේ දරුවට හොඳ අධ්‍යාපනයක් ලබාදීමය.
 
එහෙත් ඒ සෑම සිහිනයක්ම සැබෑ වන්නේ සුමිත්ලට රජයෙන් ගෙවන පඩිය වෙනසක් නොවී ලැබුණොත් පමණි. පඩි පත අඩුවෙන්න ඒ ආබාධිත ජීවිත තව, තවත් අසරණ වන බව සැබෑය. එහෙත් සුමිත්ලගේ වැටුප සම්බන්ධයෙන් නැවත ගැටලූ මතු නොවන බව අපගේ අවිශ්වාසයයි.
 
තරංග රත්නවීර
ඡායාරූප නිමල් දයාරත්න
(උපුටා ගැනීම: දිවයින පුවත්පත.)


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top