“මම පුංචිකාලෙ ඉඳලම සිංදු කියන්න ආසයි. ඒ ආසාව ඉස්කෝලෙ යන කාලෙ වෙනකොට තවත් වැඩි වෙනවා.මගේ පාසල වුණේ නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය.මගේ විදුහල්පති තුමා අයිරිෂ් දේවගැතිවරයෙක්. හරිම සැර කෙනෙක්. එයාලා සින්දු කියන ඒවට ඩාන්සින් කරනවාට කැමැති අය නොවෙයි.ඉස්කෝලෙන් කරන දේවල් වලට ඇරෙන්න පිට මුකුත් කරනවට කැමැති නෑ.හැබැයි මට ඒගොල්ලන්ගෙන් එහෙම ප්‍රශ්නයක් තිබුණේ නෑ. මාව හරියට ධෛර්යමත් කළා.ඉස්කෝලෙන් කරපු හැම කොන්සට් එකටම මාව සම්බන්ධ කර ගත්තා.“
කාගෙන්වත් බාධාවත් නැතිව ගීත ගායනය දිගටම කරගෙන යන්නට ඇයට ලැබුණු මේ ධෛර්යයම ආශිර්වාදයක් කොට ඇය සැලකුවේ ඒ නිසා වෙන්න ඇති.මරියසෙල් ගේ ජීවිතේ සංගීතය හා මුසු වෙන්නේ ඉතාම ලාබාල අවදියකදීයි. ඒකට හේතුව වෙන්නේ ඇගේ මවත් පියාත් සංගීතයට ලැදි ආදරණීය රස කාමීන් වීමයි.
“අපේ ගෙදර උදේ ඉඳන් හැන්ඳෑ වෙනකම්ම ඇහුණෙ සංගීතය තමයි.අපේ අම්මි බර්ගර් ජාතික කාන්තාවක්. හැම තිස්සෙම අපේ ගෙදර මියුසික් දාලා තිබුණේ.වැඩියෙන්ම ඇහෙන්නේ ඉංග්‍රීසි සින්දු තමයි.අපේ තාත්තා ජෝන් ද සිල්වා පරපුරෙන් එන කෙනෙක්. ඒ නිසා මම හැදී වැඩෙන්නේ සංගීතය ඇසුරේම තමයි.‘
මරියසෙල් අධ්‍යාපනය ලබන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඇගේ පවුලේ පසුබිම නිර්මාණය වෙන්නේ බටහිරට නැඹුරුව වීම එයට හේතුව. නමුත් මේ තුළ ඇය රස භාවයන් සොයා යන්නට හැම විටම උත්සාහ ගත්තා.එසේම ඊට අවශ්‍ය සහයෝගය ආශිර්වාදය ඇයට හැම විටම සිය පවුලෙන් ලැබුණා.ඒ නිසාම තමයි අද මේ මොහොත වන විට ගෙවුණු දශක පහකට ආසන්න කාල වකවානුව පුරාම ඇය මෙලෙස ක්ෂේත්‍ර යේ රැඳී සිටින්නේ.
ඇත්තටම කිව්වොත් මගේ සිංහල භාෂා දැනුම ඒ තරම් හොඳ නැහැ. පුංචි කාලේ ඉඳලම අපි ඉගෙන ගත්තේ ඉංග්‍රීසි භාෂාවෙන්. සිංහල අපි පාවිච්චි කලේ දෙවැනි භාෂාවක් හැටියට.දැනටත් කවුරු හරි බර වචන දාලා සිංහලෙන් කතා කලොත් මට ටිකක් අමාරුයි.මගේ සංගීත ජීවිතේ දිහා ආපස්සට හිතලා බලනකොට අදටත් මට හැඟෙන දෙයක් තියෙනවා. මොකද මගේ හිතේ කවදාවත් තිබුණේ නෑ මට ප්‍රසිද්ධ වෙන්න ඕන කියන හැඟීම. මට ආසාවක් තිබුණා මයික් එකක් අරගෙන ගීත ගායනා කරන්න. මයික් එකක් අරගෙන බෑන්ඩ් එකක් කරන්න. මයික් එකක් අරගෙන ස්ටේජ් එකට යන්න.එච්චරයි.අපේ තාත්තිගේ යාළු මිත්‍රයෝ ඇවිත් සින්දු කියනවා මම දැකලා තියෙනවා අත්විඳලා තියෙනවා . ඒවා දැක්කම මටත් ආසාවක් ආවා.‘
ජීවිතේ අපි අත් දකින දේවල් , අපි ආස කරන දේවල් තමන්ටම කියලා ලඟා කරගන්න අපි හැමෝම ආසයි. මරියසෙලුත් තමන් ආසම කරන දේවල් තමන්ගෙම කර ගන්න දවස ගැන ඇඟිලි ගනින්න ඇති.ඒ දවස උදා වනතුරු නිවෙසේ කාමරය ඇතුළත , කණ්ණාඩිය ඉදිරිපිට සිට ඇය නොයෙක් ගීත ගායනා කළා. සිය මවගේ වෛවාරණ ඇඳුම් ආයිත්තම් වලින් සැරසී නර්තනයේ යෙදෙමින් ගීත ගායනා කළා.දවසින් දවස ඇය කොහොම හරි තම ඉලක්කයට ළඟා වුණා.ඒ දවස විස්මිතයි . ඇයට විතරක් නොවෙයි . මේ රටේ ප්‍රේක්ෂක හිතවතුන්ටත්.
One and you”re my ever loving one
I’m youre one and only කැන්ඩි ළමිස්සී
එතකොට what my ඔක්කා am I සුදු බෝනික්කා
I’m you’re one and only කැන්ඩි ළමිස්සී
මරියසෙල් ඇගේ ජීවිත හීනය හැබෑ කර ගත්තා. කැන්ඩි ළමිස්සී ඇය ප්‍රථමයෙන් රෙකෝඩ් කරපු ගීතය. කවුරුත් නොසිතූ පරිදි මේ ගීතය මේ රටේ රසික ජනතාව ඉතාම ආදරයෙන් වැළඳ ගත්තා.මරියසෙල් ගේ පියා ගේ මිතුරන් ගීත රෙකෝඩින් කරන අවස්ථාවල පියා සමඟ ඇයද මේවා නරඹන්නට එකල සහභාගී වූවා. එකල අතිශයින්ම ජනප්‍රිය ගායිකාවක වූ ඩැල්රින් ආර්නෝල්ඩා ( ඩැල්රීන් සූබී) ගීත පටිගත කරන ආකාරය මරියසෙල් බලා සිටියේ ඉමහත් භක්තියකින්. ඒ සෑම මොහොතකම ඇයගේ ප්‍රාර්ථනය වූයේ “ අනේ මමත් ගීතයක් පටිගත කරන්නේ කවදාද? යනුවෙන්. කැන්ඩි ළමිස්සී ගීතය ඇගේ ඒ හීනය සැබෑ කර වූවා.
‘ සංගීතය මගේ ඇගේ ලේ වලට බද්ධ වුණු දෙයක්. අඩුම තරමින් අදටත් මම සවසට එක සින්දුවක් වත් අහනවා. නැත්නම් මට මොකක්දෝ අඩුවක් දැනෙනවා.කොයි තරම් කාර්ය බහුල වුණත් අඩුම තරමින් නිදා ගන්න කලින් වත් මියුසික් වීඩියෝ එකක් වත් බලල තමයි මම නිදා ගන්නේ.මම විශ්වාස කරනවා ඒක මට විතරක් නොවෙයි ඕනම මියුෂීසියන් කෙනෙකුට ඒක නැතුවම බැරි දෙයක්.මට කන්න නැතුව ඉන්න පුළුවන් . බොන්න නැතුව ඉන්න පුළුවන්. නමුත් මියුසික් නැතුව ඉන්න බෑ. ඒක තමයි අපේ විටමින් එක.සමහර වෙලාවට අපි රෙකෝඩින් එකකට ගියාම ඒක ඉවර වෙනකම් අපි කෑවද බිව්වද කියලවත් ගාණක් නෑ.
මරියසෙල් ක්ෂේත්‍රයට පැමිණෙන අවදිය වනවිට ඊ.පී තැටි යුගයේ අවසන් භාගයට එලඹ තිබුණා. කැන්ඩි ළමිස්සී ගීතය ඇය ගායනා කළේ ඊ.පී තැටියකට.නමුත් ඉන් වසර දෙකක් තුනක් ඉක්ම ගිය විට තැටි යුගය නිමාවට පත්ව කැසට් යුගය එලඹුණා.
මරියසෙල් හා සංගීත කණ්ඩායම් අතරත් තිබෙන්නෙක් ආදරණීය බැඳීමක්. ඇය සංගීත කණ්ඩායම් රුසක් සමඟ එකතු වී ගීත ගායනයට සම්බන්ධ වූවා.
‘ මගේ පළවෙනි බෑන්ඩ් අත්දැකීම තමයි ‘.ජූනියර් රිදමියන්ස්‘ . අය්යලා මල්ලිලා තුන්දෙනෙක් සම්බන්ධ වෙලා කලේ.ඒ කාලේ මට අවුරුදු 11 යි . අපි ඔක්කොම පොඩි ළමයි. තාමත් මම ඒ බෑන්ඩ් එකේ වැඩිමලාට කතා කරන්නේ ‘ ලොකු අයියා කියලා.කණ්ඩායමේ බාලයාටම වයස අවුරුදු 10 යි.මේ බෑන්ඩ් එක ඒ කාලේ ජනප්‍රිය වුණු එකක්. 1966-67 වගේ කාලේ.ඔක්කොම ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ඉගෙන ගත්ත ළමයි. ඒකෙන් පස්සේ මම නොයෙක් බෑන්ඩ් එක්ක ගීත ගායනා කළා. ‘ ජූනියර් රිදමියන්ස්‘‘ ලා වයසින් වැඩෙත්ම ‘‘ රිදමියන්ස් ‘ වුණා.අවසානයටම මම ගීත ගායනා කලේ ‘ කින්ග්ස්‘ කණ්ඩායමේ.අවුරුදු දෙකක් හෝ තුනක් මම කින්ග්ස් එක්ක හිටියා. මට ඇතියි කියලා හිතලා තමයි මම අයින් වුණේ.
කැන්ඩි ළමිස්සී ගීතයත් සමඟ මරියසෙල්ට එළිමහන් ප්‍රසංග වල අසීමිත ජන ප්‍රසාදයක් ලැබුණා.හැබැයි ඒ කාලේ සවස හය වෙනකොට පටන් ගන්න සංදර්ශණය නවය හමාර වෙනකොට ඉවරයි.එකල අතිශයින්ම ජනප්‍රිය සංගීත කණ්ඩායම් වූ ‘ ජිප්සීස්, සියැක් වැනි කණ්ඩායම් වුණත් රාත්‍රී දහය වනවිට ප්‍රසංගය ඉවරයි.එහෙත් එක්තරා කාලයකදී මේ සම්ප්‍රදාය වෙනස් වුණා. ඒ වෙනස් වීමට මරියසෙල් විරුද්ධයි.
“මම විශ්වාස කරනවා හය හමාරට පටන් අරන් නවය හමාරට ඉවර කරන ෂෝ එකක පොඩි ගතියක් තියෙනවා කියලා.ඒකෙ කිසියම් රසයක් තිබුණා.අවුරුදු ගණනාවක් මම ප්‍රසංග වේදිකාවේ හිටියා මොකද මම වෘත්තියමය ගායිකාවක් .මම ජීවත් වෙන්නේ මේකෙන්.නමුත් හැම දේටම කාලයක් එනවා නෑ මේක සුදුසු නෑ කියලා හිතෙන.මේකෙන් මම ඉවත්වෙනවා කියන තැනය ආවේ මේ ස්ටේජ් වල මම දැකපු දේවල් නිසා.සමහර වෙලාවට ඕඩියන්ස් එක දිහා බලන කොට ඕඩියන්ස් එක නිදි.අපි කාටද ගීත ගායනා කරන්නේ . ඔය ඔක්කොම මම බලලා බලලා තමයි වේදිකාවෙන් අයින් වෙන්න තීරණය කළේ.අනිත් පැත්තෙන් මගේ පුතා ලොකු වෙන්න ගත්තා .එයා මගෙන් ප්‍රශ්න කරන්න ගත්තා බොහෝ දේවල්.මම අම්මා කෙනෙක් විදියට තීරණයකළා මම මගේ දරුවට හරි දේ කියා දෙන්න නම් මම මෙතනින් අයින් වෙන්න ඕන කියලා . මොකද ඒ අතරේ සිද්ධවෙන බොහෝ අයුතු දේවල්වලට අනියමින් හරි මම සම්බන්ධ වෙන්න කැමති වුනේ නෑ.
‘‘මගේ ජීවිතයේ යම් තැනකදි මම විවාහ වුණා.මම හිටියේ විදේශ ගතවෙලා මම අම්මත් සමඟ ලංකාවට ආවා. මම දැනගෙන හිටියේ නෑ මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා.ඇවිත් සුමානයකට විතර පස්සේ තමයි දැන ගත්තේ මම ප්‍රෙග්නන්ට් කියලා. ඊටත් සුමානයකට විතර පස්සේ බබා නැතිවෙන්න ගියා.එතකොට මට හස්බන්ඩ් රිටර්න් ටිකට් එවලා තිබුණා ආපහු යන්න. නමුත් දොස්තරලා කිව්වා යන්න එපා කියලා.දරුවා බේර ගන්න ඕන නිසා මම ගියේ නෑ. ගිය නැති එකෙන් විවාහය දෙදරුවා.හැබැයි මට දරුවා ඉතුරු වුණා.දරුවත් සමඟ මට ඇතිවුණ බැඳීම මට වචන වලින් විස්තර කරන්න බෑ.මම තේරුම් ගත්තා මම මවක් විතරක් නොවෙයි. මම දැන් පියෙකුත් වෙන්න ඕන කියලා.මවයි පියයි දෙන්නම වෙනුවෙන් දරුවාට ඉෂ්ට කරන්න ඕන යුතුකම් මම කරන්න ඕන කියන එක තේරුම් ගත්තා.හැබැයි තාමත් පසුතැවෙන තැන් තියෙනවා. තාත්තා කෙනෙක් පුතෙක් එක්ක කරන දේවල් මට කරන්න බෑනේ.එතැනදි පොඩි පොඩි අඩුපාඩු වුණා.තනි මවක් හැටියට ගෙවපු ජීවිතේ නිසා මට හිතෙනවා යම් දුරකට මගේ මියුසික් ලයිෆ් එක කිසියම් පසුබෑමකට ලක්වුණා කියලා.හැබැයි කිසිම කනගාටුවක් නෑ. ඔරලෝසුව වෙනස් කරලා මට ආපහු එතැනට යන්න පුළුවන් වුණත් මම කිසි දෙයක් වෙනස් කරන්නේ නෑ.මම මවක් හැටියට ලබපු අත්දැකීම් අනෙක් හැම දෙයටම යටයි.පුතා සමඟ මට තියෙන බැඳීම , පුතා එක්ක ගත කරපු කාලෙ සේරම තරාදියක තියලා තිබ්බොත් ඒ පැත්ත අනිත් සේරටම වැඩිය බර වැඩියි.
මේ බැඳීමේ තරම ඇය අපට මෙහෙම කියනවා.
සිහින නෙළුම් මල් පොකුරු පුරා
මගේ පුතුගේ කිරි සිහිනේ සුවඳ කළා
මගේ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා
කිරි සුවඳ දේ මුවඟින් පවන් සලා
‘මගේ පුතා 2006 දි රට ගියා.ඉගෙන ගන්න ගියේ. එයා උපතින්ම බ්‍රිතාන්‍ය පුරවැසියෙක්.එයාට හොඳ හැකියාවක් තියෙනවා. මෙහෙදි එයා සින්දුත් කිව්වා.එයා තාම ඉගෙන ගන්නවා .දැන් පී එච් ඩී එකට සූදානම් වෙනවා.සිහින නෙළුම් මල් ගීතය මම කිව්වේ මෙ මගේ එකම පුතාට.මේ සින්දුව හදනකොට එයාට වයස අවුරුද්දයි.මේ ගීතය රචනා කලේ ආචාර්ය අජන්තා රණසිංහ. ගී තනුවදැම්මේ රොෂාන් ද සිල්වා. රොෂාන් මට පුතාගේ පළවෙනි උපන් දිනයට ඔය ගී තනුව හදලා දුන්නේ.සංගීත ක්ෂේත්‍රයේ ගොඩක් දේවල් මට ලැබිලා තියෙන්නේ අහම්බෙන්. කැන්ඩි ළමිස්සී . යොවුන් සිහින ලෝකේ වැනි ගීතත් හරිම අහම්බෙන් ලැබුණු දේවල්.මම කැන්ඩි ළමිස්සී කරලා ක්ලැරන්ස් එක්ක වැඩ කරන කොට තමයි ඔහු කිව්වේ ඔයාගේ ස්ටයිල් එක වෙනස් කරන්න කියලා යොවුන් සිහින ලෝකේ ගීතය හදල දුන්නේ.
සිහින නෙළුම් මල් ලියන්න මම ආරාධනා කලේ ආචාර්ය අජන්තා රණසිංහට.අජන්තා අපේ ගෙදර ආවා. ඔහු ඉස්සරලාම දැක්කෙ බබාව.එතකොට කවුරුත් දන්නේ නෑ මම විවාහ වෙලා කියලවත්.අජන්තා දරුවා දිහා බලලා පුදුම වුණා. පස්සේ මාත් එක්ක ටිකත් කතා කළා.මගේ පළවෙනි චිත්‍රපට ගීතයත් මම කලේ අජන්තා එක්ක. ඒ නිසා එයා මාව හොඳීන් දැනගෙන හිටියා.කේ.ඒ ඩබ්ලිව් පෙරේරාගේ ‘ ආදරවන්තයෙන් චිත්‍රපටයට.කේමදාස මාස්ටර් තමයි මියුසික් කලේ.ෆ්‍රෙඩී සිල්වාත් එක්ක යුග ගීතයක්.එදා අජන්තා ලියලා දුන්න ගීතය තමයි ඔය. හැබැයි පුදුම දේ කියන්නේ ඔය ගීතය මම ගායනා කරන හැම සැරයක් ම මට වෙනස් ගීතයක්.එදා මට පුතා ගැන දැනුන දේ අද මට ගායනා කරත්දි දැනෙන්නේ වෙනස් විදියකට.මට මේ ගීතයෙන් ඇසෙන්නේ මගේ හඬ නෙවෙයි . මගේ හැඟීම්.ඒ හැඟීම් එක්ක හඬ වෙනස් වෙනවා.සමහර අය මගෙන් අවසර ඉල්ලුවා මේ ගීතය ගායනා කරන්න. මම කියන්නේ මේ ගීතයේ හැඟීම දැනෙන්නේ හා එහි අයිතිය මටයි තියෙන්නේ. මේ හැඟීම් තව කෙනෙකුට දැනෙන්නේ වෙන විදියකට විය යුතුයි. අදටත් මම මේ ගීතය ගයද්දී අඬනවා. ඒ ඇයි කියන්න මම දන්නේ නෑ .ඒ දුකකට නෙවෙයි. ඒ හැඟීම මට විස්තර කරන්න අමාරුයි.මේ ආකාරයට ගෙවුණු වසර පනස් දෙක පුරාම විවිධ නිර්මාණ කළා .සමහර ගීත අතිශයින්ම ජනප්‍රිය වුණා. සමහර ගීත එහෙම වුණේ නෑ. දැන් මම සූදානම් වෙන්නේ එහෙම නොවුණු ඉතාම ලස්සන ගීත නැවත වතාවක් එළියට ගන්නයි.අළුත් නිර්මාණත් කරගෙන යනවා. හැත්තෑව දශකයේ ස්ටයිල් එකට තමයි කරගෙන යන්නේ.
ජීවිතේ මට මහ ලොකු බලාපොරොත්තු නෑ. මගේ පුතා ගැන එක බලාපොරොත්තුවක් තියෙනවා .පල්ලියේ වේදිකාවේ ගිටාර් එකක් තියාගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන ගීතයක් මගේ පුතා ගායනා කරනවා බලන්න කලින් මගේ දෙනෙත් පියවෙන්න එපා කියන ප්‍රාර්ථනය මට තියෙනවා.