Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
"හැම දෙයක්ම අධිකරණයෙන් තීන්දු වෙනකල් බලා ඉන්න වෙලා" - ජැක්සන් ඇන්තනී Photos

- "හැම දෙයක්ම අධිකරණයෙන් තීන්දු වෙනකල් බලා ඉන්න වෙලා" - ජැක්සන් ඇන්තනී PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

55,953 Views
උග්‍ර නිළි හිඟයක් තියෙනවා......
 
මගේ පෞද්ගලික ජීවිතය ගැන මම සන්තෝසයි...... 
 
ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ, අළුදෙණියේ සුබෝධි ස්වාමීන්වහන්සේ නිෂ්පාදනය කළ විෂම භාග චිත්‍රපටය විදෙස් සම්මාන උලෙළ ගණනාවකට යෝජනා වුණා. චීනයේ, පිලිපීනයේ, භූතානයේ සහ ඇමෙරිකාවේ උලෙළ හතරකින් සම්මාන ලැබුවා. ඉන් භූතානයේ ඩ්‍රක් ඉන්ටනැෂනල් ෆිල්ම් අවෝඩ් සහ පිලිපීනයේ ඒෂියන් සිනමැටෝග්‍රැෆි උලෙළවලින් හොඳම සහාය නළුවා භූමිකාවට මට සම්මාන ලැබුණා. සම්මාන දෙකම ගත්තේ ඔස්ට්‍රේලියාවෙදි පවත්වපු උත්සවයකින්. අළුදෙණියේ හාමුදුරුවො තමයි මේ උලෙළවලට ඉල්ලුම්පත් ඉදිරිපත් කළේ. ලංකාවේ චිත්‍රපට විදෙස් සම්මානවලට ඉදිරිපත් කරන විධික්‍රමයමත් මාෆියාවක්නේ. ඒක මහා දිව්‍ය රහසක්. එක්කෝ මේක චිත්‍රපට සංස්ථාවෙන් කරන්න ඕනා. මොකද අපේ රටේ අධ්‍යක්ෂවරුන් පෞද්ගලිකව තම තමන්ගේ සුරුබුහුටිතා මත පදනම්ව සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් වෙනවා. නියාමනයක් තිබුණා නම් එහෙම වන්නේ නැහැ. ජාතික චිත්‍රපට සංස්ථාව මේ කිසිවක් නොකර පඩි කකා ඉන්නවා.

අන්තර්ජාතිකව සම්මානනීය වන සියලුම චිත්‍රපට හොඳම ඒවාද?
 
ඔය ද්විරූපතාව අතීතයෙත් තිබුණා. රේඛාව අන්තර්ජාතිකව අගය කෙරුණා. ලංකාවේ බල්ලෙක්වත් බැලුවේ නැහැ. නිධානය බැලුවෙත් නැහැ. කලාත්මක සිනමාව පවත්වන්න පුළුවන් වෙන්නේ කර්මාන්ත සිනමාව තිබුණොත් විතරයි. ඔය කලාත්මක හා වාණිජ කියන දෙක මැද චිත්‍රප‌ට ලෙස හඳුනාගත නොහැකි අංගවිකල ඒවා වගයක් විශාල වශයෙන් බිහිවනවා. අන්න ඒවා ගැන අප පරෙස්සම් විය යුතුයි‍.
 
අද අන්තර්ජාතික සම්මාන උලෙළ කියලා වෙනම 'ශානරයක්' තිබෙනවා. වට්ටෝරුවකුත් තිබෙනවා. අපට ඉස්සරහට ෆෙස්ටිවල් සිනමා ශානරය කියලා නම් කරන්න වෙයි. ඒවාට වෙනම තේමාවක්, හැඩයක්, වර්ණයක්, කතාවස්තුවක් තිබෙනවා. ඒ ශානරයේ චිත්‍රපට හදන්න පිටරටින්ම ප්‍රතිපාදන සම්පාදනය කරලා දෙනවානේ. අපේ රුපියල් සත වැය වන්නෙත් නෑනේ. ඉතින් ඒවාත් තිබුණාවේ. චිත්‍රපට කලාවට රැඟුම්පාලක මණ්ඩලයේ නියාමනයෙන් එහාට ගිය බෙදාහැරීමේ ක්‍රමවේදය සඳහා නියාමනයක් අවශ්‍යයි ලංකාව වගේ රටක. සංස්ථාව මැදිහත්වෙලා නිරීක්ෂණය කරලා වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. එය නීත්‍යානුකූල නම් ඉතාම හොඳයි. අපි දන්නේ නැහැ. මොකද අපි ඉන්නේ ගන්ධබ්බ අවධියකනේ. හැම දේම අධිකරණයෙන් තීන්දු වෙනකල් අපිට බලා ඉන්න වෙලා තියෙනවා.
 
ඔබ හැරෙන්නේ දේශපාලනයට, පසුගිය කාලයේ දේශපාලන මත නිසා ඔබ නොරිස්සූ පිරිසකුත් හිටියා?
 
අපේ රටේ මට සමකාලීන සමහර බුද්ධි මණ්ඩල, මාධ්‍ය මණ්ඩල, විචාර මණ්ඩල, මතවාදී මණ්ඩලවල‌ට මාව 1983 කාලෙ ඉඳන්මත් රිස්සුවේ නැහැ. මම සිංහල විශේෂ ගෞරව උපාධියක්නෙ කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ. වැට පැනලා ඇවිත්නේ රූපවාහිනියේ ආයුබෝවන්වල එහෙම කතා කළේ. ඉතින් ශිෂ්‍යයකු නිසාත් පොතපත වැඩියෙන් කියවන නිසාත් කතා කළා වැඩිද මන්දා එහෙම වුණේ. අනෙක ක්ෂේත්‍ර ගණනාවක පෙනී සිටිනවා, පත්තරවල ලියනවා ඒවත් නිසා මගේ ක්ෂේත්‍රික නෑදෑයන්ට මාව රිස්සුවේ නැහැ. හැබැයි කියන්න වරදක් තිබුණෙත් නැහැ. ඉතින් මා සම්බන්ධ දේශපාලන කතිකාව අඬන්න හිටිය කෙනාගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වැඩක්. හැබැයි මගේ දේශපාලන සම්බන්ධතාව සහ මේ රටේ අනෙක් කලාකරුවන්ගේ දේශපාලන සම්බන්ධතායි කොයි වගේද කියන එක දැන්වෙද්දි තේරිලා තියෙන්න ඕනා. මම කිසිම නිලධාරියකු හෝ මැති ඇමැති කෙනකුත් නෙවෙයි. පක්ෂ සාමාජිකයකුත් නෙවෙයි. මට විවිධ ආරාධනා තිබුණා, තනතුරු පිදුවා මම ඒවා කාරුණිකව ප්‍රතික්ෂේප කළා. මම නිකම්ම මතයක් ඉදිරිපත් කළ කෙනෙක්. හැබැයි අද වෙද්දි මම නිහඬ වෙලා ඉන්නවා මොකද අද පවතින්නේ කුලවාදයටත් එහා ගිය පක්ෂවාදී ගෝත්‍රික දේශපාලනයක්. ඒ වෙනුවෙන් මගේ මේ සමාජ විද්‍යාත්මක ,‌ඓහාසික මතිමතාන්තර වැඩක් නැහැ. ඒ නිසා වහල් දේශපාලනයේ මම නැහැ. කොහොමත් මම පාක්ෂිකයෙක් නෙවෙයිනේ.
 
මම කියනවා ඔබ එක්තරා පාක්ෂිකයෙක් කියලා?
 
ඔව්. මේ රට වෙනුවෙන් ඇස් ඇරගෙන ඉන්න, මගේ සියලු දැනුම ඔස්සේ රටට සේවයක් කරන්න කැමැති රටට පාක්ෂික මතිමතාන්තර වෙනුවෙන් පෙනී සිටින පාක්ෂිකයෙක්. අද පාක්ෂිකයන්ගේ එකම විනෝදාංශය දේශපාලනය මිස සිනමාවක්, වේදිකාවක්, ක්‍රිකට් මැච් එකක්වත් නෙවෙයි. පාක්ෂික විෂවලින් බුද්ධිමතුන් පවා පිල්බෙදිලා. චූලෝදර මහෝදර ගැටුමක් වගේ තියෙන්නෙ. ඒ තුළ මතවාදී දේශපාලනයකට ඉඩක් නැහැ.
 
මට හිතෙන්නේ ලෝකෙ පුරාමත් එහෙමයි. කන්වලට ඇබගහගත්ත පිරිස් අවසිහියෙන් මොනවාහරි කරනවා?
 
අරුණි ඔය කියන කාරණාව එංගල්ස් කීවා. මිනිසා ඉදිරියට තැබූ සෑම පියවරක්ම ආපස්සට තැබූ පියවරක්ද වන්නේය. අද ලෝකය හදාගත් මේ නව ලිබරල්වාදී, ඩිජිටල්වාදී, සැටලයිටවාදී, අන්තර්ජාතිකවාදී ආර්ථිකය බොහෝ දිලිසෙන ජ්වලිත එකක් වගේ පෙනුණට එයම තමයි අපව ආපසු ගෝත්‍රික ලෝකයක් කරන්නේ. ඒ ප්‍රකාශ සදාකාලිකයි.
 
මොකක් හරි විසඳුමකුත් ඇතිනේ?
 
ගෙදර මම ඕක කීවාම කුමාරි (බිරිඳ කුමාරි මුණසිංහ) කියන්නේ එංගල්ස්ට කලින් ඕවා බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කියලා. මේක සුනාමියක්. අපට කරන්න පුළුවන් විනාශය සිදුවනතුරු ඉඳලා නැවත ප්‍රතිසංස්කරණය කරගන්න එකයි. මොකද මේවාට දත්ත නැහැ. ඊළඟට කුමක් සිදුවේද කවුරුත් දන්නේ නැහැ. න්‍යායක් නැති දේවල් ගැන අපි කොහොමද හිතන්නේ. න්‍යායෙන් තොර ක්‍රියාව වඳයි. ක්‍රියාවෙන් තොර න්‍යාය අන්ධයි. ඉතින් මේ භද්‍ර කල්පයම අන්ධ වන්නේ නෑනේ. අපි කුණාටුවක් ආවාම කරන්නේ, කුණාටුව විසින්ම එය සන්සිඳවනතුරු කුඹගස අල්ලගෙන ඉන්න එකයි. ඊට පස්සේ තමයි කොයි දිසාවටද යාත්‍රා කරන්නේ කියලා හිතන්න ඕනෙ.
 
මොකක්ද දැන් අල්ලාගෙන සිටින කුඹ ගහ?
 
මම විසින් හදාගත් මම නැමැති කුඹගහ. ඒකෙ තියෙන්නේ ස්ථිර බලාපොරොත්තු. මම යනු කවුද කියලා නිතර කල්පනා කරනවා මේ දවස්වල. මම එල්ලෙ බලාගෙන ඇවිදින මිනිහෙක්. දැනුම් තේරුම් ඇතිවුණ දවසේ ඉඳන්ම මගේ එල්ලේ තිබුණේ කලා ලෝකය තුළ පමණයි. ඒ තමයි මගේ පරමාධ්‍යාශය. ඒ ගමන මට කවදා යන්න පුළුවන් වෙයිද කියලා බලාගෙන ඉන්නවා.
 
අපට පේන විදිහට නම් යම් ගමනක් ඇවිත් තියෙන්නේ?
 
ඔව් මඟක් දුර ඇවිත් තියෙනවා. ඒත් මගේ එල්ලය ඒක නෙවෙයි. අපේ රටේ මේ කලා ක්ෂේත්‍රයේ විශාල අඩුපාඩු රැසක් එක්කනේ අපි මේ හැදෙන්නේ. සාහිත්‍යය, රසවින්දනය වගේ විෂයයන්වල න්‍යායන් ඉගෙන ගත්තාට ඒවා ප්‍රායෝගිකව අත්දකින්න ලැබුණේ නෑනේ. මේ සුළිය අනෙක් අතට කැරකුණානේ. අපේ ශ්‍රී ලාංකිකයන්ට උරුම වින්දන ශක්තිය, අපේ දීර්ඝ සිතිවිලි පරම්පරාවට අයත් අපේ සාහිත්‍යය, පුරාවිද්‍යාව ගත්තාම අපට දැනෙන අපේ ගැඹුරු සිතිවිලි පරම්පරාව මොන තරම් සතුරු ආක්‍රමණ සිදු වුණත් ඒවා ජයගෙන ආපු ගමන හානි වුණා 1815 ඉංග්‍රීසීන්ගේ සිතිවිලි අපේ මතට දැමීමෙන්. ඒත් අපි අර දීර්ඝ සිතිවිලි පරම්පරාවක වර්තමානික වින්දකයෝ. ඒ නිසා නැවත රසාලිප්ත, නිර්මාණාත්මක යුගයක් සකස් වෙයි කියන එකයි මගේ බලාපොරොත්තුව.
 
ඔබේ දරුවන්ට ඒ සිතිවිලි දිය හැකි වුවත් සමස්ත පරපුරට සහ ඔවුන්ගේ දරුවන්ට අද තිබෙන තාක්ෂණය, ආකල්ප සමඟ ඒ බලාපොරොත්තුව ඉටු කළ හැකිවේවිද?
 
ඒගොල්ලන්ගේ පරපුරට තිබෙන්නෙත් අපේ ජාන මිස නව ලිබරල් හෝ පශ්චාත් නූතනවාදී ජාන නෙවෙයි. ඒත් ඇමෙරිකානු බුල්ඩෝසරය ආසියාවේ සියලු කඳුහෙල් සමතලා කරගෙන පැමිණෙද්දි විවිධ රටවල් ඒ වායු දූෂණයෙන් මිදෙන්න විවිධ ප්‍රාකාර බැන්දා. ඒ ගඩොලින් නෙවෙයි. ඉන්දියාව බලන්න. ඔවුන් ඉන්දීය චින්තනයෙන් මොඩර්න් ඉන්ඩියා කියලා අනාගතයට ගැළපෙන එකක් හදාගෙන තමන්ගේ අතීත උරුමය යාවත්කාලීන කරගෙන ලොකූ ප්‍රාකාරයක් හදාගත්තා. අපේ එහෙම වුණේ නැහැ. ඉතින් මට ඒ දරුවන් ගැන තියෙන්නේ ලොකූ අනුකම්පාවක් මිස ප්‍රතික්ෂේපයක් නොවෙයි. තවමත් ඒ දරුවන් ගොඩගත හැකියි කියන මහා පීතෘ විශ්වාසයකින් මම ඉන්නේ. මගේ දරුවො තුන්දෙනාත් මම හදාගත්තේ හරි අසීරුවෙන්. උනුත් මේ ලෝකෙම ජීවත් වුණ මේ සමාජයේම සැරසරන රස්තියාදුකාරයන්. ඒත් මම ඔවුන්ට බරු එල්ලන්නේ නැතිව පියාඹන්න ඉඩ දෙන අතර නිරන්තර මනසට කතා කළා. ඉතින් ඒ අයගේ පරමාදර්ශී වීරයා බවට පත් වුණේ මම. දරුවන්ට මේ කිලිටි වායුගෝලයේ හුස්ම ගන්නා විට පොඩි පෙනේරයක් බවට මම පත්වුණා.
 
අතුරු කතාවක් කියන්නම්. කොළඹ උසස් පැළැන්තියේ කතෝලික කාන්තා පාසල් වැඩමුළුවකදි කියලා තිබුණා සර්ප්‍රයිස් එකක් විදිහට ස්ටාර් කෙනෙක් ගේනවා කියලා. ඒ අය නිවේදනය කරද්දි මම ස්ටේජ් එකට ආවා විතරයි මේ කෙල්ලො ටික කෑගහන්න පටන්ගත්තා කියන්නේ, උන්ගේ කෑගැහිල්ල පිපිරුවා වගේ. මම බලන් ඉන්නවා ඉන්නවා නවත්වන්‌නේ නැහැ. පස්සෙ සංවිධායකවරු ඒ ගැන සතුටින් කියද්දි එක දුවක් කෑගහලා කියනවා ඉංග්‍රීසියෙන් එයා තමයි අපේ පීතෘ තාරකාව කියලා. (හී ඉස් අවර් ෆාදර් ස්ටාර්) මගේ දේශනය මැද්දේ උන් අඬනවා. ඒ කියන්නේ මේ අයගේ ජානවල ඒ අධ්‍යාත්මය තියෙනවා. ඒකයි මම කීවේ මේ සිතිවිලි පරම්පරාව හොල්ලන්න බැහැ කියලා.
 
ඒ ගැන ඔබ තෘප්තිමත්?
 
මගේ පෞද්ගලික ජීවිතය ගැන මම සන්තෝසයි. මගේ දරුවෝ බිරිඳ සහිත කුටුම්භය ගැන සන්තෝසයි. මට ධනියගෝපාලට වගේ කියන්න බැහැ ඒ ඒ් ඍතුවට මාළිගා තිබෙනවා, ධනයෙන් ආඪ්‍යයි ඒ නිසා බය නැහැ කියලා. මම ඉන්නේ අමාරුවෙන් ණයවෙලා හදාගත්ත ගෙදර, මම එළවන්නේ 1996 මට ත්‍යාගයක් ලෙස ලැබුණු වාහනය. අපේ දරුවෝ වාහනේට කියන්නේ අප්පච්චිගේ සුන්දරී කියලා. මගේ ආර්ථික පැවැත්ම මේ ඇති. ඒත් මගේ අධ්‍යාත්මික පැවැත්ම සහ එල්ලය ගැනයි කනගාටුව තියෙන්නේ.
 
අපට පේන ආකාරයට ඔබ එල්ලයට ළඟාවෙලා. මොකක්ද තිබෙන කනගාටුව?
 
මම චිත්‍රපට කාරයෙක්නෙ. මා විසින් 1992 ලියලා පොත් බැඳලා තිබෙන තිරකතා පහක් විතර තබෙනවා. මේවා මේ රටේ අධ්‍යක්ෂණයට කරගන්න මට නිෂ්පාදකත්වය සකස් වෙනවා නම්, ලංකාවේ සිනමාව හරි විදිහේ ක්‍රියාන්විත සිනමාවක් වෙනවා නම් මම කැමතියි. ඒවා තව පමා වෙනවට කැමති නැහැ. මගේ හිතේ තියෙන නිර්මාණවලින් කරලා තිබෙන්නේ හරි කුඩා ප්‍රමාණයයි. මට ඒවාට සම්මාන ලැබුණා සමාජයෙන්. ඒත් සමාජයටත් මම සම්මාන දිය යුතුයිනේ. ඒ තමයි මගේ නිර්මාණ. ඒ සඳහා මගේ සැලසුම් ගොඩාක් තිබෙනවා. ඒවා කරගන්න විදිහක් නැහැ දේශපාලන නාටක නිසා. අද ටෙලි නාට්‍යවලට වඩා රෙටිංස් වැඩි ප්‍රවෘත්තිවලට දේශපාලනඥයන්ගේ කතා නිසා. එහෙම තත්ත්වයක් යටතේ සිනමා ශාලාවලට මිනිස්සු යයිද? සිනමා ශාලා අලුත්වැඩියා වෙයිද? ඉදිවෙයිද? 1979වෙද්දි අපට තිබුණු සිනමා රසිකත්වය කෝටි අටකට ආසන්නයි කියලා නිහාල්සිංහ මහත්මයාගේ පොතේ තිබෙනවා. අද අපේ ජනගහනය ඊට වැඩියි. ඉතින් අපට ඊට සාපේක්ෂ ප්‍රේක්ෂකාගාරයක් හැදෙයිද? ඔන්න ඕවා තමයි මට ජයගන්න අවශ්‍ය කාරණා.
 
එකගෙයි සොකරි ඒ ගැන උරගා බලන නිර්මාණයක්ද?
 
ඔව්. ඒක මගේ එක නිර්මාණයක්. එය ඊඒපී මණ්ඩලයෙන් තෝරාගෙන ඉතා ඉක්මනින් ප්‍රදර්ශනය කරන්න කියලා. මම ඉන්නේ විජයබා කොල්ලයට පස්සෙ. ඒත් ඒ කාලෙ වෙද්දි මැතිවරණ පටන් ගන්නවා. ඉතින් අමාරුවෙන් නිෂ්පාදනය කරගත්ත චිත්‍රපටයක් සැකයෙන් ඉදිරිපත් කරන්න බෑනේ. ඒ නිසා ලබන අවුරුද්ද දක්වා මා විසින්ම ප්‍රදර්ශනය කල් දාගෙන තියෙනවා. හැබැයි මම තව නිර්මාණයක් පටන් ගන්නවා ජනවාරි වෙනකොට මේ චිත්‍රපටය පෙන්වන්න කලින්. මම දැන් ටිකක් ඉක්මන් විය යුතුයි කියලා මටම හිතිලා තියෙනවා. මොකද කවුරුත් ඇවිත් අපිව නිර්මාණ ලෝකෙට කැන්දන් යන්නේ නැහැ. ඒ නිසා මමම පටන්ගන්න වෙනවා.
 
ඒක මොනවගේද?
 
මම හැමදාම හෙව්වා වගේ අලුත්ම තේමාවක්. අලුත් ප්‍රේක්ෂකාගාරය බලාපොරොත්තු වන කුතුහල සහිත ආකර්ෂණීය එකක්.
 
ඒ කියන්නේ අපට ඕනෑතරම් වස්තුබීජ තිබෙනවා?
 
ෂූහ්... කොච්චර තියෙනවාද? අපි 71කැරැල්ල ගැන චිත්‍රපට හදලා තියෙනවාද? 83 ගැන 89ගැන? ඒ අතර අපේ සමාජය කොයිතරම් වෙනස්කම්වලට ලක්වුණාද? ඒ එක වෙනස්කමක් ගැන හරි අපි චිත්‍රපට හදලා තියෙනවාද? නැහැනේ. අපි මේ කල දුටු කල වළ ඉහගන්නවා මිසක. දිනෙන් දින බිහිවන වස්තුබීජ අපි අන්තකරණය කරගෙන නිර්මාණකරණයේ යෙදෙන්නයි ඕනෙ.
 
එහෙනම් ඇයි නිර්මාණකරුවන් එකම වස්තුබීජ ඔස්‌සේ යන්නෙ?
 
අපි ටිකක් රැල්ලට කැමතියි. හැමෝම බලන්නේ මේ ආර්ථිකයෙන් ගොඩ එන්නනේ. ඔය නිර්මාණකරුවන්ගේ මඩිස්සලේ හොඳ හොඳ සංකල්ප ඇති. ඒත් මුරණ්ඩු ලෙස ඒවා එළියට දමන්න එඩිතර වන්නේ නෑනේ. ඒ නිසා හරිම හුදෙකලා සටනක නිර්මාණකරුවන් ඉන්නේ.
 
මෙහි වැරැද්ද ප්‍රේක්ෂකයාගෙද?
 
පාලකයන්ගෙ. එංගල්ස්ම කියා තිබෙනවා යුගයක රජයන අදහස් වනාහි ඒ යුගයේ පාලකයන්ගේ අදහස්ය කියලා. කලාව සාහිත්‍යයටත් වන්නේ ඒකමයි. මට අහුවෙනවා එක මූලයක්. 1972 සමඟි පෙරමුණු රජය. සමාජවාදීන් පිරිසක් රජයපු. එයින් තමයි සාහිත්‍යය, ඉතිහාසය, ප්‍රජාචාරය ඉවත්වෙන්නේ. අද අපට තිබෙන සාහිත්‍යික හිඟය, ඉතිහාස දැනුමේ හිඟය, සමාජ විද්‍යා දැනුමේ හිඟය පාලකයන්නේ හැදුවේ. ඒ කීපදෙනාගේ මණ්ඩලය හිතන්න ඇති සාහිත්‍ය කියලා ඉගෙන ගන්නේ කවිය කියලා. නෑ ඒ මානව හැඟීම්. මොනවද රසයන් කියන්නේ. ඇයි අපට දුක දැනෙන්නේ, සතුටුවෙන්නේ, වෛර වෙන්නේ, කරුණාවන්ත වෙන්නේ. ඒ මානව සම්බන්ධතා නැති වුණ නිසයි අපි කුරිරු වෙන්නේ. අපේ නිර්මාණාත්මක බව නැති වෙන්න ප්‍රධාන හේතුව සාහිත්‍යයෙන් මිදීම. ලෝකයේ කිසි රටක් තමන්ගේ සාහිත්‍යයෙන් මිදිලා නැහැ. ලොකු සාහිත්‍යයක් නැති ඇමෙරිකාව පවා තමන්ගේ සාහිත්‍යය යාවත්කාලීන කරගත්තා. ඒ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමෙන් නෙවෙයි එය අතික්‍රමණය කිරීමෙන්. පාලකයා විසින් කළ ඒ දේ පාලකයා විසින්මයි හදන්නත් ඕනා.
 
හැදුවොත් මුල් තැනට එයිද?
 
නෑ. හැබැයි වෙනස් තැනකට එයි. මොකද එදාට වඩා අද පොහොසත්. අද අපි මේ කියන කඩාබාන්දු වෙච්ච නූතනයේම හරිම සෞම්‍ය නිර්මාණාත්මක දේවල් තිබෙනවා. ඉන්දීය සංගීතය, චිත්‍රපට, ඉරාණ චිත්‍රපට තිබෙන්නෙත් මේ වර්තමානයේමනේ. අද පටන්ගත්තොත් අවුරුදු 20න් හරි මේ වෙනස වෙනවානේ.
 
සිනමාවටත් වුණේ ඒකද?
 
අපේ තරම් අර්බුද තිබුණු , ශාලා, චිත්‍රාගාර ගිනි තියපු රටක් නැතුව ඇතිනේ ලෝකේ. 89 වෙද්දි අපේ රාත්‍රී සමාජය තහනම් කළා. රාත්‍රී සමාජයේ තමයි සිනමාව තියෙන්නේ. මැට්නි ෂෝ කියන දිවා දර්ශන කියන්‌නේ ඒකෙ බොහොම අතුරු කෑල්ලක්. අපේ තාමත් රාත්‍රී 9.30 ෂෝ එකක් නෑ. සිනමාව ලෝකේ මහා වෙනස්කම්වලට පත් වුණා, ඩිජිටල්කරණය වුණා. සිනමා ශාලාවක ඉඳ ගැනීම ගුවන්යානයක සිටීම හා තරමට සැප පහසු වෙලා, සිනමා සංකීර්ණ තැනුණා. අපි ඒක හදාගත්තේ නැහැ. ඒ තරමටම පරිපාලනමය හා නියාමන වශයෙන් දිලිඳු තත්ත්වයක තිබිලත් මිනිස්සු චිත්‍රපට බලනවා. ජනප්‍රිය සිනමාව කියන දේ ගැන අපේ රටේ තියෙන මතය වැරැදියි. කාලයක් ලෙනින් මොරායස්ලා, සුනිල්සෝම පීරිස්ලාගේ තැනට අද ඇවිත් තිබෙන්නේ නිර්මාණශීලී මහාචාර්යවරයෙක්. එතුමා මේ ආස්ථානයට පැමිණීම ගැන ඒ සේවය ගැන අපට තිබිය යුත්තේ ආඩම්බරයක්. ඔහු සරුංගලය, උප්පලවණ්ණා වගේ කලාත්මක නිර්මාණ කළ පුද්ගලයෙක්. ඒත් මේ සිනමාවට ජනතාව රැස් කළ යුතුයි කියලා එතුමා ගන්න තීරණවලට අපි එකඟ නොවුණත් ජනතාව එකඟ වනවානේ. මේ අහිංසක සිනමාකරුවා වසරේ වැඩිම ප්‍රදර්ශනයට නිෂ්පාදකයාට සම්මාන ලබා දී උලෙළවලට ගිහින් හිස් අතින් එනවානේ. මට මතක් වන්නේ සිරිසේන විමලවීර. එතුමත් අර ත්‍රිපුද්ගල ඒකාධිකාරය සමඟ සටන් කළා මිස කවුරුත් සේවය ගණන් ගත්තේ නැහැ. සරසවිය පත්තරේ ශාස්ත්‍රීය ලිපියක් පළ වෙනවා මිස. ඒත් මේ කාලේ ඉන්න ෆේස් බුක් වීර පණ්ඩිත විචාරකයන් විජයබා කොල්ලය 'ව්‍යපෘතිය' හෙළා දකිනවා. සිනමාකරුවකු වශයෙන් චිත්‍රපටය පිළිබඳ යම් යම් විවේචන තිබුණත් මම විජයබා කොල්ලය නැරඹුවේ ලොකු බලාපොරොත්තුවක් හිතේ තබාගෙන. සිනමාවේ ඉරණම විසඳන්නේ මේ චිත්‍රපටය. යම් විදිහකින් විජයබා කොල්ලය අසාර්ථක වුණානම් ශාලා වහන්න හිටියේ. ඒත් චිත්‍රපටය දැක්කට පස්සේ මට හිතුණා තව මාස තුනහතරකට අපේ සිනමාවට පණ තිබෙනවා කියලා‍.
 
අද සිනමා රංගනය ගැන මොකද හිතන්නෙ?
 
ලංකාවේ සිනමා රංගනය ඉතා ඉහළ මට්ටමක තිබුණා වගේම අදත් පවතිනවා. එදා උසස් රංගධරයින් සමඟ සැසඳුවොත් සෙසු නළුනිළියන්, විශාල අසාර්ථක පිරිසක් මැද ඉතාම සාර්ථක සුළුතරයක් ඉන්නවා. අද එදාට වඩා ඉන්නවා. ඒකයි අපට තිබෙන සන්තෝෂය. ඒ නිසා මේක නිකම්ම විනාශ වෙලා ගිහින් කියලා කියන්න බෑ. අද හොඳ දක්ෂ නළුවන් පිරිසක් නම් ඉන්නවා. හැබැයි උග්‍ර නිළි හිඟයක් තිබෙන බව නම් කියන්නම ඕනා. අධ්‍යක්ෂවරයකු ලෙස මම ඉතාම අසීරුතාවලට මුහුණ දෙනවා මේ ප්‍රශ්නය නිසා. ඒත් අපි පැරදිලා නැහැ. මම අසුබවාදය ගැන කතාකරන්න කැමති කෙනෙක් නෙවෙයි. මහන්සි ගත්තොත් හොයාගන්නත් පුළුවන්. දක්ෂ සිනමා නිළියන්ට ලොකු ඉඩක් තිබෙනවා.
 
රංගනය ඉතාම සංකීර්ණ මාතෘකාවක්. ඒ බව බොහෝ දෙනා දන්නේ නැහැ. සහජයෙන් ලබාගත් කුසලතාවක් විදිහට තමයි ඉදිරිපත් වන්නේ. රංගනය සම්බන්ධයෙන් විශාල න්‍යාය පද්ධතියක් ලෝකෙ සකස් කරලා තිබෙනවා. අපි තවම ඒවා ඇසුරු කරන්න පටන්ගෙන නැහැ. කලාත්මක චිත්‍රපටවල රඟපාන ශිල්පීන්ට මේ නිසා විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිදුවෙලා. සමහර කලාත්මක සිනමාකරුවන් අතර තිබෙනවා ලෝකේ කොහේවත් ඔප්පු නොවුණු ව්‍යාජ මතයක්. ඒ රඟ නොපා සිටීමයි රංගනය කියන්නේ කියලා. ඒක දුර්මතයක්. ඉතා ස්වාභාවික ලෙස රංගනයේ යෙදීමයි අසීරුම කාරණය. ඉතින් මම විශ්වාස කරන්නේ රඟපෑම වනාහි භාව ඉවසීම කියලයි. භාව නැතිකම නෙවෙයි. ඒ ගුණය කොහොමද පුහුණු වෙන්නේ කියන එකටයි ව්‍යායාම අවශ්‍ය වන්නේ. අපේ ප්‍රවීණ රංගධරයන්ට වැරදුණ තැන් සොයා බැලුවොත්, ඒ භාව ඉවසන්නේ නැතුව පිපිරී ගිය නිසා. අධිරංගය හෝ අවරංගය කියන දෙකම වැරැදියි. මගේ මුල් කාලයේත් ඒ අවශ්‍ය අංශකයට ඉහළින් මම හිටියා කියලා දැන් හිතෙනවා.මගේ රංගජීවිතය තුළින්ම තමයි මම ඒක ඉගෙන ගත්තේ. ලංකාවේ රංග පාසලක් නැහැ. විශ්වවිද්‍යාලවල මම දේශනකරන නිසා දන්නවා වේදිකාව මිස සිනමාව කියන තාක්ෂණය සමඟ, කැමරාව, ආලෝකය, මයික්‍රෆෝනය සමඟ පවත්වන මනෝමය සංවාදය, සමෝදානයට ලක්වන, ජේදනයට ලක්වන රංගය පිළිබඳ වෙනම හැදෑරීමක් නැහැ. එවැනි ආයතනයක් පවත්වන්න ආශාවකුත් තිබෙනවා. එය තනියෙන් කරන්න අමාරුයි. ඒත් මේ විෂයය අලලා පොත පත රාශියක් ලියන්න මගේ බලාපොරොත්තවක් තිබෙනවා ඉදිරියේදි මම ටිකක් තැන්පත් වුණු කාලෙක.
 
අරුණි මුතුමලී


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top