ඇය සිද්ධිය මෙසේ විස්තර කළා.
"මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතාට අවුරුදු අටයි. බාල පුතාට අවුරුදු දෙකයි. නියගය නිසා අපේ ළිඳේ වතුර නැහැ. ඒ හින්දා පුතාලා දෙන්නත් එක්ක යාබද නෑදෑ ගෙදරක ළිඳකට ගිහින් තමයි අපි නාන්නේ. සිද්ධිය වූ දිනයේ හවස පහට විතර පුතාලා දෙන්නත් එක්ක මම ගිහින් ඒ ළිඳ අසල ටැප් එකෙන් පුතාලා දෙන්නා නාවලා ඉවරවෙලා පස්සෙ මම නෑවා. ඒ වෙලාවේ පුතාලා දෙන්නා අවට බෝලයක් අරගෙන සෙල්ලම් කරමින් හිටියා. ඒ ටැප් එක අසළ තමයි ළිඳ තියෙන්නෙ. ඒක අනාරක්ෂිත ළිඳක්. මම නාලා සබන් ගානවිට එක පාරම ශබ්දයක් ඇසුණා. එතකොටම ලොකු පුතා කෑ ගහලා කීවා බෝලය ගන්න දුවගෙන ගිය මල්ලි ළිඳට වැටුණා කියලා..."
"ඒත් එක්කම මම ළිඳට එබිලා බැලුවා. පුතා උඩ පාවෙමින් උඩ යට යනවා දැක්කා. කිසිම දෙයක් ගැන හිතුවේ නැහැ මමත් ක්ෂණිකව ළිඳට පැන්නා. පුතා උස්සාගෙන හිටියා. ඒ අතරේ ලොකු පුතා දුවගෙන ගිහිල්ලා අවට ගෙදරක හිටපු පුතාලගේ තාත්තාට සිද්ධිය කියලා..."
"ඒ අය දුවගෙන ආවා, කලබල වෙන්න එපා පුතා ගොඩට ගන්න කියා මම ඒ අයට කීවා. පසුව ගමේ අය අඩි විස්සක් විතර දිග ඉනිමඟක් දාලා ඒකට තවත් ඉනිමඟක් ගැට ගැසුවා. පසුව අසල්වැසියෙකු ළිඳට බැහැලා පුතා වඩාගෙන ගොඩට ගියා. නමුත් මට කකුල උස්සලා නගින්න බැහැ කකුල කැඩිලා බව තේරුණා. පස්සේ පිරිස ගෝනියක් අරගෙන තොටිල්ල වාගේ හදලා මාව ඒ මත තියාගෙන හතර මුල්වලින් ගැට ගහලා කඹ ආධාරයෙන් උඩට ගත්තා. පුතාට සීරිමක්වත් නැහැ. මගේ වම් කකුළ කැඩිලා..."
"පස්සේ මාව සිංහල වෙද මහත්තයෙක් ළඟට අරන් ගියා. ඒ අතරේ පුතා රෝහලටත් අනිත් අය අරගෙන ගියා..."
මෙම ළිඳ ඇතුළේ තවත් ළිඳක් ඇති අතර පළමු ළිඳ අඩි විසිපහකින් පමණ සමන්විත වන අතර වතුර නැති නිසා ඒ කලුගල කඩලා තවත් අඩි 7ක් පමණ ගැඹුරින් යුත් ළිඳක් ඇතුළතින් කපා තිබෙනවා.
එහි ඇතුළත කපා ඇති ළිඳ වටප්‍රමාණය අඩි හතරක් පමණ වනවා.
ඒ ගල්බැමි අතරින් බේරී ළිඳේ වතුර මතටම දරුවා වැටීම හා මව පැනීම හමුවේ දෙදෙනාටම ජිවත් වීමේ භාග්‍ය උදාවී ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා.
ලංකාදීප