පාසල් කාලෙ ගැන කතා කරද්දි අපිට සාමාන්‍ය පෙළ පංතියට එනකම් සංගීතයට වගේම නැටුම්වලටත් ගුරුවරු හිටියෙ නෑ. පාසලේ පැවැත්වුණ බොහෝ ප්‍රසංගවලට නැටුම් සහ ගායනය ඉගැන්නුවෙ මමයි මගේ නංගියි. සාමාන්‍ය පෙළින් පස්සෙ නැටුම්වලට ගුරුවරියක් ලැබුණත් සංගීතයට ගුරුවරියක් ලැබුණෙ නෑ.
ඔබේ මව ටවර්හෝල් රංගන ශිල්පිනියක් ක්‍ෂේත්‍රයට එන්න එයත් බලපෑව නේද?
ඔව්. කලාවට අපේ සහජ හැකියාවක් තිබුණා. ඒ වගේම පසු කාලෙක සංගීතය හොඳින්ම හැදෑරුවා. ඒ කාරණා දෙකම නිසා තීව‍්‍ර විදියට මට ගායන ලෝකය ජයග්‍රහණය කරන්න අවස්ථාව උදාවුණා.
මල් සේ දිලේවා ලෝතුලේ ගීතය ගයමින් ක්‍ෂේත්‍රයට පිවිසුණා
ඒ වෙද්දි මගේ වයස අවුරුදු අටයි. ගුවන් විදුලියේ ස්වදේශීය සේවයේ විචිත්‍රාංගය කියන වැඩසටහනට තමයි ඒ ගීතය ගායනා කළේ. ගුවන් විදුලියේ පළමු වරට ගීතයක් ගායනා කළ දවස තමයි ඒ.
එලෙස ක්‍ෂේත්‍රයට පැමිණි ඔබ සොහොයුරෝ චිත්‍රපටය හරහා චිත්‍රපට පසුබිම් ගායනයට වරම් ලැබුවා
ගුවන් විදුලියට සම්බන්ධ වෙලා මුල්ම ගීතය ගායනා කළාට පස්සෙ වෙළෙඳ සේවය ඔස්සේ විකාශය වූ ආධුනික පැය වැඩසටහනට ගීත ගායනා කරන්න මට අවස්ථාව ලැබෙනවා. අද ඉතින් එක එක ස්ටාර්ස්නෙ ඔය වැඩසටහන්. ඒ කාලෙ ආධුනික පැය. ඒකට ගායනා කරපු ගීතයක් තමයි සාධු දන්තදා ගීතය. ඒ ගීතය අහල තමයි ආර්. මුත්තුසාමි මහත්මය මාව ඒ චිත්‍රපටයෙ ගීත ගායනය සඳහා තෝර ගත්තෙ.
එතැනින් පස්සෙ චිත්‍රපට රැසක පසුබිම් ගායනය කිරීමට තරම් ඔබ වාසනාවන්ත වුණා.
ඔව් 1956 අවුරුද්දෙ තමයි චිත්‍රපට පසුබිම් ගායනයට සම්බන්ධ වුණේ. නමුත් චිත්‍රපට තිරගත වුණේ ඊට අවුරුදු දෙකකට පස්සෙ 1958 දි සොහොයුරෝ චිත්‍රපටයට පස්සෙ ශෝභා, වැදිබිම, වනමල කියන සිනමා පටවලින් පටන්ගත්තු චිත්‍රපට පසුබිම් ගායනය නවත්වන්න සිද්ධ වුණේම නෑ. 1990 වෙනකම්ම සිනමා ක්‍ෂේත්‍රයේ බොහෝ රංගන ශිල්පිනියන් වෙනුවෙන් මගේ හඬින් ගී ගැයුවා.
ජෝතිපාලයන් සමග ගැයූ පසුබිම් ගායනා ගැන කතා නොකරම බැහැ
ජෝති අයියත් එක්ක ගායනා කරපු ගීත රාශියක් තියෙනව. චන්ද්‍රා මේ රෑ පාය ආවා, මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ වගේ ඉතාමත් මිහිරි ගීත ඔහු සමග ගයන්න මට අවස්ථාව උදාවුණා. ඒ කාලෙ ක්‍ෂේත්‍රයේ හැමෝගෙම මතයක් තිබුණා මගේ හඬත් සමග ඔහුගේ හඬ හොඳින්ම ගැළපෙන බවට. ඒක හරි. අද පරපුර දක්වාම නොනැසී මේ ගීත තාමත් ශ්‍රාවකයන් අදටත් රස විඳින්නෙ ඒ නිසානෙ.
අල්හාජ් මොහිදින් බෙග් කියන ගායන ශිල්පියා සමග ගී ගයන්න ලැබීම සුවිශේෂී අවස්ථාවක් නේද?
ඔව්. ඔහු සමග අල්ලපු ගෙදර චිත්‍රපටය ඇතුළු තවත් කීපයකට ගීත ගායනා කළා. විශේෂය තමයි ඔහු සමග කිංකිනි පාද සඳහා ගැයූ මල් සුගන්දේ දම් සුගන්දේ එදා වගේම අදටත් වයස් භේදයකින් තොරව රස විඳීම.
අද දවස වෙද්දි ඔබ චිත්‍රපට කොපමණ සංඛ්‍යාවක ගීත ගායනා කර තිබෙනවද?
මගේ මතකයේ හැටියටනම් චිත්‍රපට තුන්සිය පනස් දෙකයි. වෙලාවකට හිතෙනව ඊට වැඩිවෙන්න ඕන කියලත්.
1965 වසරේ ඔබ ස්වර්ණසංඛ සම්මානයෙන් පිදුම් ලබනවා?
ඒ සම්මානය මට ලැබෙන්නෙ යටගිය දවස චිත්‍රපටය වෙනුවෙන්. එහි රඟපෑ සන්ධ්‍යා කුමාරි වෙනුවෙන් මම ගායනා කළ දුක එන කල පෙරළිලා ගීතය වෙනුවෙන්.
මේ අතර 1966 වසරේ සරසවි සම්මාන උළෙලේදී ඔබ ඇගයීමට ලක්වුණා.
ඔව් ඒ පරසතු මල් චිත්‍රපටයේ ගායනය වෙනුවෙන්.
ඉන් වසර හයකට පසු 1972 වසරේදී ඔබ පුංචි දවස්වල නින්දට යද්දි ගීතය වෙනුවෙන් හොඳම ගායිකාවට හිමි සම්මානය හිමිකර ගනු ලැබුවා.
ඔව් හොඳම ගුවන්විදුලි ගායිකාවට හිමි කුමාරතුංග මුනිදාස සම්මානය තමයි එදින මට හිමිවුණේ. අජන්තා රණසිංහ ලියපු ඒ ගීතය සරත් දසනායක විසින් සංගීතවත් කළා.
ඔබ මේ දක්වා ගැයූ සියලූම ගීත අපේ රටේ ගීත ලෝලීන් අතර ඉතා ජනප්‍රියයි. මේ ගීත ගොන්නේ ඔබ වඩාත්ම කැමැති ගීතය
ඇත්තටම කියනවනම් මම කියපු හැම ගීතයක්ම රසිකයන් අතරට තාමත් ගිහින් නෑ. මම කියපු ගීත අතරෙ මගේ ස්වාමියා පවා අහල නැති ගීත තියෙනවා.
මේ වෙනකොට ඒක සංඛ්‍යාත්මකව බැලූවොත් පන්දහස ඉක්මවලා. ඔය අතරෙන් ඉඳහිට ඇහෙන ගීත සීයක් විතර තියෙනවා. හැමදාම ඇහෙන්නේ එයිනුත් ගීත විස්සක විතර ප්‍රමාණයක්. මම ගායනා කරපු හැම ගීතයටම මම කැමැතියි. ඒ අතරෙ සීගිරි කාශ්‍යප චිත්‍රපටයට ගැයූ පිරුණා හද සන්තානේ, මහ රෑ හමුවූ ස්ත්‍රිය චිත්‍රපටයේ ජීවන විල මැද වගේම මයුරිගේ කථාව චිත්‍රපටයේ සුදෝ මම ආදරෙයි කියන ගීතවලට විශේෂ කැමැත්තක් තියනවා.
මේ ගීතවලට විශේෂ කැමැත්තක් ඇතිවීමට හේතුව?
හේතුව ඉතින් මිහිරි තනු නිර්මාණය තමයි. තනුවක් මිහිරි ලෙස නිර්මාණය වෙන්නෙ නිර්මාණකරුවගෙ පරාසයත් එක්ක. ටිකක් දන්න කෙනා පුංචියට හදනව වැඩියෙන් දන්න කෙනා ස්වර මහ ගොන්නක් එකතු කරල හදනව. ඒ විදියට හැදුණ රසවත් ගීත ටිකක් තමයි මම ඔය විදියට නම් කළේ.
ගීතයක රසවත් බව වැඩිවෙන්නෙ තනුව නිසාද නැත්නම් ගායන ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ හඬ නිසාද?
තනු නිර්මාණකරුවකුගෙ තනුවක තියෙන මිහිර තමයි කෙනෙක් ගායනා කරන්නෙ. මේ අතර සමහර තනු තියනව රස නැති. දක්‍ෂයෙක් ගායනා කළොත් එහි රසය මතුකරල ගන්නව හෙඬ් කුසලතාව අනුව. කසිකබල් තනු ගායක ගායිකාවො වර්ණවත් කරපු අවස්ථා ඕන තරම් තියෙනවා.
ඔබ ගැයූ එවැනි ගීතයක් සඳහන් කළොත්?
පුංචි දවස්වල නින්දට යද්දී ගීතය එහි තනුව කසිකබල් කියල නෙමෙයි මම කියන්නෙ හරිම සරල තනුවක් එහි තියෙන්නෙ. ඒත් අද ඒ ගීතය නොඇසෙන මගුල් ගෙදරක් නැති තරම්. ඒ මගේ දැනීමේ මට්ටමට අනුව රසවත්ව ගායනා කළ නිසා.
අද ඔබ ගීත ගායනයෙන් සම්පූර්ණයෙන් ඈත්වෙලා නේද?
ඈත්වෙලාම නෑ. ඒත් මම අවුරුදු 21 ක් ගීත ගායනා කළේම නැහැ. ඒ කාලය තුළ මම ජීවත් වුණේ ඇමරිකාවේ. ඒ ඇවිත් තමයි නෙලූම් පොකුණෙ ප්‍රසංගයක් කළේ. මගේ ප්‍රසංග කරනව ඇරෙන්න මම ඒ කාලෙ ඉඳලම එළිමහන් ප්‍රසංගවලට සහභාගි වීම නැවැත්තුවා. ඒ 1982 මගේ චානක පුතාගෙ ඉල්ලීමකට අනුව. එයා මට තියෙන ආදරේ නිසාම තමයි කිව්වෙ අම්ම නිදිවරාගෙන ඔහොම තැන තැන සිංදු කියන්න යනවට මම කැමැති නෑ කියල. උසස් හමුදා නිලධාරියෙක් වූ ඔහු 1992 දී අපි අතරෙන් වෙන් වුණා.
අද අලූත් ගීත කරන්නෙම නැද්ද
කරල තියෙනව. එළියට දාන්නෙ නෑ. දැම්මොත් පහුවදා ඩුප්ලිකේට් එක රුපියල් සීයට පේමන්ට් එකට එනව. අපිිට ගිය මුදලවත් නෑ. ගෙදරට ඇවිත් කැමැති අය අරන් යනවා.
හිතෙන්නෙ නැද්ද ගීත ගායනා කරමින් නැවත ප්‍රසංගයක් කළොත් හොඳයි කියල?
පහුගිය කාලෙ ගීත කළා. ප්‍රසංග පැවැත්වුවා. අනිත් අය වගේ මාසෙට දෙක තුන නෙමෙයි. ළඟදි ප්‍රසංගයක් කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා.
මේ වෙද්දි ඔබේ ගීත ඇතුළත් පොත් පෙළක් එළිදක්වමින් සිටිනවා නේද?
ඔව්. එහි පළමුවෙනි පොත මගේ ගීත 300 ක් ඇතුළත් කරල නිකුත්කරා සුජාතා අත්තනායක ගීතාවලිය නමින්. අපේ සිංදු හොරකම් කරන්න බැරි විදියට ඒ වගේ ඉතිහාසයක් තියෙන්න ඕන. ඒකයි එවැනි දෙයකට අත ගැහුවෙ. මේ හැම ගීතයක්ම ලිව්වෙ කවුද සංගීතය කාගෙද කිව්වෙ කවදද මොන වැඩසටහනේද කියල දින වකවානුත් එක්ක එහි තියෙනව. දෙවැනි පොත මේ අවුරුද්දෙ එළිදක්වනවා.
අද වෙනකොට සංගීත ක්‍ෂේත්‍රයේ බොහෝ වෙනස්කම් දකින්නට ලැබෙනවා. එය ඔබ දකින්නේ?
අද ඔය විවිධ බීම වර්ග තියෙනවනෙ. ඒව හදන්න ගත්ත මූලික ද්‍රව්‍ය තමයි වතුර. ඊට පස්සෙ තමයි පාට දාල පැණි රස එකතු කරල නමක් දාල වෙළෙඳපොළට දුන්නෙ. අද ගීතයක ඔය වතුර කියන මූලික දේ තමයි නැත්තෙ. ඒකයි ගීතයක පැවැත්මක් නැත්තෙ.
එදා ගීත ලෝලීන් ගායක ගායිකාවන්ගෙ හඬට තමයි ආදරේ කළේ. ඒත් අද රූප රචනාවට ඒ ගැන ඔබේ අදහස?
වැඩිපුරම තියෙන්නෙ නොගැළපෙන ඒවා. ගැළපෙන දෙයක් දකින්න තියෙන්නෙ කලාතුරකින්. ශ්‍රව්‍ය දෘෂ්‍ය කියල දෙකක් තියෙනවනෙ එයින් අද තියෙන්නෙ පේන දේ විතරයි. ගෑනු ළමයි ඇඳුමෙ හිඩසකින් කකුල පෙන්නගෙන උඩුකය නිරාවරණය කරගෙන කොණ්ඩ කඩාගෙන ගීතයට නොගැළපෙන ලෙස රඟපානවා. ඕවට කැමැති පිරිස් අද වැඩියෙන් බිහිවෙලා තිබීම කනගාටුවක්.
ඔබේ ගීත තවමත් රියැලිටි වේදිකාවේ ගැයෙනවා ඒ ඇසෙනකොට මොකද හිතෙන්නෙ?
කෙනෙක් ඉදිරියට එන්න ඕන කාගෙ හරි ගීතයක් කියල තමයි. ඒක වැරැද්දක් නෙමෙයි. නමුත් එහෙම ආවට පස්සෙ අපේම සිංදු කිය කිය හම්බ කරව. ඒක ලොකු වැරැද්දක්. අනාගතයෙදි ලතා වල්පොල, රුක්මනී දේවි, ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායක කියන නම්වත් නෑ, මොකද අපේ ගීත ඇහෙන්නෙ වෙන අයගෙ නම්වලින්. ඒක ඉතා විලිලැජ්ජා නැති පහත් මට්ටමේ වැඩක්.
ඔබේ හඬට තවමත් රසිකයො ආදරෙයි
අනිවාර්යයෙන්ම මගේ ගීතයක් ගුවන් විදුලියෙන් ඇහුණ ගමන් මට දවසකට දුරකථන ඇමතුම් කීයක් නම් එනවද ගීතය අගේ කරල දුක සැප අහල.
ක්‍ෂේත්‍රය දිහා ආපසු හැරිල බැලූවම මොකද හිතෙන්නෙ?
මම සතුටුයි. සංගීත ක්‍ෂේත්‍රයේ මම යන්න ඕන තැනට ගිහිල්ල ඉවරයි. දැන් තියෙන්නෙ මාර්ග ඵල ලබන්න විතරයි. ඒ සඳහා පින් දහම් කරමින් උත්සාහ කරනවා. මේ වෙද්දි මම අනුරාධපුරේ ගෙයක් හදල එහේ සතියයි කොළඹ සතියයි ජීවත් වෙන්නෙ. ඒ මට පින්දහම් කරන්නත් ඕන නිසා මම අද ලබන ආදායමෙන් වැඩි කොටස වෙන් කරන්නෙ පිනට දහමට. මේ ගෙවන ජීවිතේ ගැන මම තෘප්තිමත්.
ධම්මික හේවාවසම්
දිවයින