සහරාන් හෂීම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය 2017 වසරේදී නීතිපති උපදෙස් සඳහා ඉදිරිපත් කළ ලිපිගොණුව සම්බන්ධයෙන් හිටපු නීතිපති විධිමත් පියවරක් ගෙන නොමැති බවට පූජ්‍ය මගල්කන්දේ සුදත්ත හිමියන් ඊයේ දින කළ ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ මුල් ගොනුවේ ප්‍රමාණවත් තොරතුරු අන්තර්ගත නොවූ බවයි.
සහරාන් හෂීම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය 2017 වසරේදී නීතිපති උපදෙස් සඳහා ඉදිරිපත් කළ ලිපි ගොනුවසම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳව සිංහල රාවය සංවිධානය ඊයේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිත විමසීමක් කළා.
පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඊයේ දින සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.
නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය විසින් නිකුත් කළ මෙම නිවේදනයේ දැක්වෙන්නේ EER08/2017 දරන ගොනුව නීතිපති දෙපාර්තමේන්තුව වෙත 2017 ජූනි මස 07 වැනි දින ලැබී ඇතත් එහි නීතිපතිවරයාට උපදෙස් දීමට ප්‍රමාණවත් කිසිදු කාරණාවක් හෝ නෛතික ගැටලුවක් අන්තර්ගත නොවූ බවයි.
ඉහත කී හිමිනම සඳහන් කළ පරිදි 2017/06/07 දින ඉදිරිපත් කරනු ලැබූ ලිපි ගොනුව පිටු 300 කින් සමන්විත බව පැවසුවද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් එදින ඉදිරිපත් කළ මුල් ලිපිගොනුව පිටු කිහිපයකින් පමණක් සමන්විත වූ බවද මාධ්‍ය නිවේදනයේ සඳහන්.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ නීතිපතිවරයා විසින් උපදෙස්දීමට තරම් ප්‍රමාණවත් කරුණු සහිතව පිටු 200 ක පමණ වූ විමර්ශන ගොනුවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත්තේ 2019-05-06 වන දිනල එනම් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු වී සති දෙකක පමණ කාලයකට පසුව බවයි.
2017 -06-07 දින වන විට ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ අන්තවාදී ක්‍රියාකලාපයන් පිළිබඳ අනාවරණය වී තිබූ තොරතුරු මෙම දෙවන ගොනුවේ සඳහන් වුවද එකී කිසිදු තොරතුරක් පළමු ගොනුවේ අන්තර්ගත නොවූ බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.
ඉන් අනතුරුව මෙකී අන්තවාදී සංවිධානය හා පිරිස් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සැකකරුවන්ට විරුද්ධව විවෘත වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කර තිබුණද ඒ සම්බන්ධයෙන් හා අදාළ නඩුවේ ප්‍රගතිය සම්බන්ධයෙන් වූ කරුණු පවා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් 2019-05-06 දිනය වන තෙක් තම දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කර නොමැති බවද නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනිය සඳහන් කළා.
එබැවින් නීතිපති දෙපාර්තමේන්තුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් ප්‍රශ්න කර සිටින්නේ 2017 - 2018 වකවානුව තුළ කරනු ලැබූ විමර්ශනයන්ගෙන් සහරාන් හෂීම් සහ ඔහුගේ අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකලාපයන් පිළිබඳව කරුණු අනාවරණය වී තිබුණේ නම් අදාළ විමර්ශන උදෘතයන් ප්‍රමාණවත් ලෙස නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර උපදෙස් ලබාගැනීමට කටයුතු නොකළේ මන්ද යන්නයි.
මෙම කරුණ පිළිබඳ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල විමර්ශන මණ්ඩලය වෙත නීතිපති දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කළ බවත් එහි අවසන් වාර්තාවේ අදාළ විමර්ශන නිලධාරීන් විසින් සිදු කර ඇති රාජකාරිමය පැහැර හැරීම් පිළිබඳව පැහැදිලි නිරීක්ෂණයන් සදහන් කර ඇති බවත් මෙම මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් 2019-06-18 වැනි දින නිකුත් කරනු ලැබු ලිපියකින් නීතිපති දෙපාර්තමේන්තුව වැඩබලන පොලිස්පතිවරයාවද දැනුවත් කර තිබෙනවා.
VIDEO