මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඔක්තෝම්බර් 30 වැනිදා දක්වා වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද තහනම් නියෝගයක් ලබාදුන්නා.
ඒ, මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව නීතිඥ කේ.එච්.ගීගනගේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සම බුවනෙක අළුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූණු අවස්ථාවේදීයි.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් සදහන් කළේ තෝරා ගත් සිරකරුවන් 4 දෙනෙකුට පමණක් එම දඩුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති, නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වන බවයි.
එබැවින් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේ මරණ දඩුවම ශ්‍රී ලංකා නීතියට අනුකූල දඩුවමක් බවයි.
එබැවින් ජනාධිපතිවරයාගේ මෙම නියෝගය හරහා මූලික අයිතිීන් කඩවීමක් සිදුනොවන බව ද ඔහු ප්‍රකාශ කළා.
කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති සියලූම පෙත්සම් ඔක්තෝම්බර් මස 29 වනදා කැදවීමටයි නියෝග කළේ.
මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු පුද්ගලයන්, ක්‍රියාත්මක කළ යුතු දිනය, වේලාව හෝ ස්ථානය ගැන ජනාධිපතිවරයා මේ දක්වා දැනුම් දීමක් සිදුකර නොමැති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය වළක්වන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම පිළිබද සිදුකළ වැඩිදුර කරුණු දැක්වීමේදියි.
මෙහිදී පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම නීතිපතිවරයාගේ මූලික විරෝධතා පිළිගනිමින් ප්‍රතික්ෂේප කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීන්දුව මේ මස 17 වන දා ප්‍රකාශයට පත් කරන බවයි.
එසේත් නොමැති නම්, පෙත්සම්කරු විසින් ඉල්ලා ඇති මරණ දඬුවමට එරෙහි අතුරු තහනම් නියෝගය ලබා දෙනවා ද නැද්ද යන තීන්දුව ද එදින ලබාදෙන බව ද, පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළා.
එමෙන්ම, එළඹෙන 17 වන දා අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් තමන් වෙත නියෝගයක් ලැබුණ ද මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.
තමන්ට එම දිනයට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස නියෝග ලැබුණහොත් එය අධිකරණයට දැනුම් දෙන බව ද, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් සදහන් කළා. VIDEO