ඉරාන ගුවන් අවකාශය තුළදී නියමුවන් රහිත ඇමෙරිකානු ඔත්තු සේවා යානයකට පහර දී බිම හෙළූ බව ඉරානයේ රාජ්‍ය ආරක්ෂක හමුදා ශාඛාවක් වන ඉස්ලාම් විමුක්ති ආරක්ෂණ බළකාය පවසා තිබෙනවා.
එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, ඉරානයේ හෝමොස්ගන් පළාතේ කුමෝබාරක් ප්‍රදේශය ආසන්නයේදී අදාළ යානයට ආරක්ෂක හමුදා විසින් ප්‍රහාර එල්ල කරනු ලැබූ බවයි.
ඇමෙරිකාව එය තහවුරු කරමින් පවසා ඇත්තේ, හෝමස් සමුද්‍ර සන්ධිය ඉහළින් පියාසර කරමින් තිබියදී ඉරාන ගුවන් මිසයිල ප්‍රහාරයකින් එම යානය කඩා වැටී ඇති බවයි.
ඇමෙරිකානු නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, ඇමෙරිකානු නාවික හමුදාවට අයත් MQ-4C Triton මාදිලියේ යානයකට එලෙස ප්‍රහාර එල්ල වී ඇති බවයි.
මෙම සිද්ධිය වාර්තා වූයේ, මැද පෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ අතිරේක හමුදා භටයින් 1000ක් එම කලාපයට යවන බවට ඇමෙරිකාව නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුවයි.
ඕමාන් ගල්ෆ් කලාපයේදී ඉන්ධන ප්‍රවාහන නෞකාවලට බෝම්බ ප්‍රහාර එල්ල කළ බවට ඇමෙරිකාව ඉරානයට චෝදනා කළා.
ඉරානය සහ ඇමෙරිකාව අතර පැවති උණුසුම් තත්ත්වය තවදුරටත් වර්ධනය වූයේ, තමන් සතු අඩු බලැති යුරේනියම් ප්‍රමාණය ලබන සතිය වන විට 2015දී ඇති කර ගත් ජාත්‍යන්තර එකඟතා සීමාව ඉක්මවා යනු ඇති බවට සඳුදා ඉරානය කළ නිවේදනයත් සමගයි.
ඇමෙරිකාව තමන්ට එරෙහි ආර්ථික සම්බාධක තවදුරටත් දැඩි කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉරානය යුරේනියම් නිෂ්පාදනය ඉහළ දැමුවා.
ඉරානය පවසන පරිදි, බ්‍රහස්පතින්දා ඇමෙරිකානු ඔත්තු සේවා ගුවන් යානයට ප්‍රහාර එල්ල කළ 'කුමොබාරක්' ප්‍රදේශය හෝමස් සමුද්‍ර සන්ධියට ආසන්නව පිහිටා තිබෙන අතර එය ජාත්‍යන්තර ඉන්ධන සපයන්නන්ගේ ප්‍රධාන මුහුදු මාර්ගයක්.
ඉරානය සම්බන්ධයෙන් මැද පෙරදිග රටවල් අතර ඇති වන උණුසුම් තත්ත්වය හමුවේ අතිරේක හමුදා සාමාජිකයින් 1000ක් මැදපෙරදිග කලාපයට පිටත් කර හැරීමට ඇමෙරිකානු ආරක්ෂක හමුදා තීරණය කර තිබෙනවා.
ඇමෙරිකාවේ වැඩබලන ආරක්ෂක ලේකම් පැට්‍රික් ෂානහන් පැවසුවේ, ඉරාන හමුදාවන්හි "සතුරු හැසිරීමට" ප්‍රතිචාරයක් වශයෙන් එම අතිරේක බළකාය යැවීමට පියවර ගන්නා බවයි.
මේ වන විට සෞදි අරාබිය සහ ඉරානය අතර ද යම් උණුසුම් තත්ත්වයක් ආරම්භ වී තිබේ. ඒ, ඕමාන් ගල්ෆ් කලාපයේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට ප්‍රහාර එල්ල වීමත් සමගයි.
ඕමාන් ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට පසුගිය දා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබිය සිය ප්‍රතිවාදී ඉරානයට චෝදනා කළා.
සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහමඩ් බින් සල්මාන් පැවසුවේ, කලාපය තුළ උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින හෙයින් ඕනෑ ම තර්ජනයකට මුහුණ දීමට සෞදි අරාබිය පසුබට නොවන බවයි.
පසුගිය බ්‍රහස්පතින්දා ඕමාන් ගල්ෆ් කලාපයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල වූ අතර, ඊට මසකට පමණ පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළ ආසන්නයේදී තවත් නෞකා 4ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල වුණා.
බ්‍රහස්පතින්දා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ද ඉරානයට චෝදනා එල්ල කළ අතර ඉරානය එය ප්‍රතික්ෂේප කළා.