සිව් දෙනෙකු විසින් දූෂණය කර පසුව මුගුරකින් පහරදී ඝාතනය කරන ලද කාන්තාවකගේ සිරුරක් (11දා) වැනි දින සවස කතරගම බුත්තල මාර්ගයට ආසන්නව සෙල්ලකතරගම ප්‍රදේශයේ ළඳු කැලෑවක් තුළ තිබියදී තංගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.
පසුගිය මාර්තු මස දිනයකදී මෙම කාන්තාව ඝාතනය කොට ඇතැයි පොලිසිය පවසයි.
දූෂණයට ලක් කොට පහරදී ඝාතනය කර තිබුණේ බිබිල මැදගම ප්‍රදේශයේ පදිංචිව සිටි 57 වැනි වියේ පසු වූ ජයලන්ත මුදියන්සේලාගේ ශ්‍රියාණි ප්‍රේමලතා නම් සිව් දරු මවක් බව පොලිසිය කියයි.
සැකකටයුතු ලෙස කතරගම ප්‍රදේශයේ සැරිසරණ පුද්ගලයන් කිහිපදෙනෙකු පිළිබඳව තංගල්ල කොට්ඨාසයේ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් ලැබී තිබූ තොරතුරකට අනුව සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව මිය ගිය කාන්තාවගේ ඝාතනයේ සුලමුල පොලිසිය විසින් සොයා ගෙන ඇති බවත් සදහන්.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනා විවිධ අපරාධ සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාරගතව සිටින බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාගෙන් අනාවරණය වු තොරතුරු අනුව මිය ගිය කාන්තාවගේ සිරුරු පොලිසියට සොයා ගැනීමට හැකිව තිබෙනවා. ඉකුත් මාර්තු මස 03 වැනි දින මිය ගිය කාන්තාව බිබිල ප්‍රදේශයේ සිටියදී ඇය සමඟ හිතවත් වී සැකකරුවන් ඇය මෝටර් රථයක නංවාගෙන කතරගම දෙසට පැමිණ ඇති බවත් අනතුරුව සැකකරුවන් සෙල්ලකතරගම ප්‍රදේශයේ ළඳු කැලෑවක් තුළදී ඇය දූෂණය කොට පහර දී මරා දමා ඇති බවත් පොලිසිය පවසයි.
කාන්තාව ඝාතනය කිරීමෙන් අනතුරුව ඇය පැළද සිටි රන් භාණ්ඩ සියල්ලද ඝාතකයන් විසින් පැහැර ගෙන ගොස් ඇති බවත් සදහන්. තිස්සමහාරාම වැඩ බලන මහේස්ත්‍රාත්වරයාගේ හා හම්බන්තොට මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ඉදිරිපිටදී මියගිය කාන්තාවගේ මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් සැකකරුවන් ලබන 18 දින දක්වා බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවත් වැඩිදුරටත් සදහන් වෙයි.