ධුරවලින් ඉල්ලා අස්වූ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදින්, අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන හිටපු ආණ්ඩුකාරවරුන්ට එරෙහිව පැමිණිලි භාරදීම සඳහා පත් කළ විශේෂ කමිටුව වෙත පැමිණිලි භාරදීම අද පස්වරු හතරට අවසන් කෙරුණා.
ඒ අනුව අද පස්වරු 3 වනවිට ඔවුන් තුන්දෙනාට එරෙහිව ලැබුණු සමස්ත පැමිණිලි සංඛ්‍යාව 21 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු සහ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවට ලැබෙන පැමිණිලිවලට අදාළව විමර්ශන කටයුතු සිදුකරනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්.
ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පැමිණිලි 11 ක් ලැබී ඇති අතර, බස්නාහිර පළාත් හිටපු අණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව පැමිණිලි 5 ක් ලැබී තිබෙනවා.
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි 2 ක් ලැබී ඇති අතර, රිෂාඩ් බදියුදීන්ට සහ එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලාට එරෙහිව තවත් එක් පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
එමෙන්ම ඔවුන් තුන්දෙනාටම එරෙහිවද පැමිණිලි 2 ක් ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර අද මෙම විශේෂ කමිටුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුලූ පිරිසක් පැමිණියා.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව චෝදනා 16 ක් යටතේ තමන් මෙම පැමිණිල්ල ගොනුකළ බවයි.
අනතුරුව නව සිංහලේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක ඩෑන් ප්‍රියසාද් ද, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
සිංහලේ සංවිධානය ද විශේෂ කමිටුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, මීට පෙර සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස එම සංවිධානයේ භික්ෂුන් වහන්සේට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී තිබුණා.
අදාළ විමර්ශන කමිටුව හමුවේ පැමිණිල්ලක් ගොනුකළ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ කියා සිටියේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ වත්කම් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.
VIDEO