බදුරලිය - දික්හේන කනිෂ්ඨ විද්‍යාලයේ තිබී අත්බෝම්බ 13 ක් සොයා ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ ජාතික ආරක්ෂාව තහවුරු වී ඇති අවස්ථාවක සමාජය තුළ අනියත බියක් ඇති කිරීමේ අරමුණින් මෙම අත්බෝම්බ ගෙනැවිත් දමා ඇතිබවයි.
දික්හේන කනිෂ්ඨ විද්‍යාලයේ ආරක්ෂාවට යොදවා සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු සිදු කල දැනුම්දීමක් මත ඊයේ රාත්‍රියේ මෙම අත්බෝම්බ සොයාගෙන තිබුණා.
පාසලේ 1 ශ්‍රේණිය පන්ති කාමරයේ පැති දැලක එල්ලා තිබියදී අත්බෝම්බ දෙකක් සොයාගෙන ඇති අතර එම පන්ති කාමරයේම තවත් පසෙක ඉටි කවරයක දමා තිබියදී අයෙක් අත්බෝම්බ 11 සොයා ගෙන තිබෙනවා.
අදාළ ඉටිකවරයේ තිබී, වීදුරු බෝතලයක දමා තිබූ සැකකටයුතු ද්‍රව්‍යක් සහ විදුලි රැහැන්ද සොයාගෙන තිබෙනවා.
පාසලේ දරුවන්ගේ මව්පියන් චෝදනා කළේ එම අවස්ථාවේ පාසලේ ආරක්ෂාවට යොදවා සිටි දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවටයි.
"කිව්වා දැන් අත්අඩංගුවට ගත්තා කියලා අපේ අර මුරට හිටපු දෙන්නා. ඇත්තටම දෙමව්පියෝ විදිහට අපිට හරි ආවේගයි. මොකද තවත් දෙමාපියෝ ඉස්කෝලේ මුර කරන්න එන්න අකමැතියි. මොකද ආයෙත් මේ වගේ සිද්ධියක් වුණොත් ඒ දෙමාපියොත් යනවා පොලිස් කූඩුවට අත්අඩංගුවට. ඒ වගේ තත්ත්වයක් නැතුව දෙමාපියොත් එක්ක පොලීසියේ හරි යුධ හමුදාවේ හරි ආරක්ෂාවක් තමයි පාසලට ඉල්ලන්නේ දිවා රාත්‍රී දෙකටම..."
කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.
"බදුරලිය පොලිස් වසමේ දික්හේන ප්‍රදේශයේ පාසලක් අසල දමා ගොස් තිබුණු අත් බෝම්බ කිහිපයක් ඊයේ රාත්‍රියේ බදුරලිය පොලීසිය විසින් සොයාගනු ලැබුවා. විශේෂයෙන්ම රට තුළ ජාතික ආරක්ෂාව තහවුරු වෙලා තිබෙන මෙවන් අවස්ථාවකදී සමාජය තුළ අනියක බියක් ඇති කිරීමට මේ පාසල අසලට මේ අත්බෝම්බ කිහිපය ගෙනැවිත් දමා ඇති බව ඉතාම පැහැදිලිවෙනවා. මේ වන විට පොලිස් කණ්ඩායම් 2ක් යොදවලා විමර්ශන ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම මේ නින්දිත ක්‍රියාව සිදු කරපු මේ පුද්ගලයා පිලිබදව ඒ ප්‍රදේශවාසීන්ගෙන්ම මේ වන විට අපිට තොරතුරු ලැබෙමින් පවතිනවා. ඒ වගේම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මෙවැනි ක්‍රියාවලට බිය වෙන්න එපා කියලා..."
මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත අදාළ අත්බෝම්බ යුද හමුදා නිශ්ක්‍රීය අංශය විසින් බදුරලිය නගර සභා ක්‍රීඩාංගනයේදී නිශ්ක්‍රීය කිරීමට පියවර ගත්තා.
මේ අතර දික්හේන කනිෂ්ඨ විද්‍යාලයේ තිබී අත්බෝම්බ හමුවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද කතාබහට ලක්වුණා.
VIDEO