කොළඹ - කොටහේන කොච්චිකඩේ දේවස්ථානය ආසන්නයේ සැකකටයුතු වෑන් රථයක තිබූ බෝම්බයක් ආරක්ෂක අංශ අද පස්වරුවේ පුපුරුවා හරිනු ලැබුවා.
ඒ අදාළ රථය විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමකින් අනතුරුවයි.
ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අද පස්වරුවේ මෙලෙස පරීක්ෂාවට ලක් කළේ කොච්චිකඩේ දේවස්ථානය ආසන්නයේ සැකකටයුතු ලෙස නවතා තිබූ වෑන් රථයක්.
එය ඊයේ දිනයේ කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බ රැගෙන පැමිණි වෑන් රථය බවට හඳුනාගෙන තිබුණා.
පස්වරු 4.15 ට පමණ අදාළ වැන් රථයේ තිබූ බෝම්බය ආරක්ෂක අංශ පුපුරුවාහරිනු ලැබුවේ ඒ අවට පිරිස් එම ස්ථානයෙන් ඉවත් කිරීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත්, පිපිරීමෙන් පසු ප්‍රදේශයේ ජනතාව අතර නොසන්සුන්තාවක්ද හටගත්තා.
පිපිරීමෙන් ඒ අවට ගොඩනැගිලි සහ රථවාහන කිහිපයකටද අලභහානි සිදුව තිබුණා.
මේ අතර, කොළඹ - කොටුව දුම්රියපොළ ඉදිරිපිටද සැකකටයුතු පාර්සලයක් ඇති බවට ලද තොරතුරු මත ආරක්ෂක අංශ අද පස්වරුවේ විශේෂ සෝදිසියක් සිදුකළා. ඒ, එම ප්‍රදේශයේ රථවාහන ධාවනයද තාවකාලිකව නවතා දමමින්.
කෙසේ වෙතත් ආරක්ෂක අංශ සිදුකළ පරීක්ෂාවේදී තහවුරු වූයේ එය බත් පාර්සලයක් බවටයි.
මේ අතර, ආරක්ෂක අංශ අද පස්වරුවේ මරදාන පොලිසිය ඉදිරිපිටද විශේෂ පරීක්ෂාවක් සිදුකළා.
මේ අතර, මහබාගේ වැලිසර නවලෝක ක්‍රීඩාංගණය ඉදිරිපිටද සැකකටයුතු වෑන් රථයක්/ මෝටර් රථයක් ඇති බවට ලද තොරතුරකට අනුව ආරක්ෂක අංශ පරීක්ෂාවක් සිදුකළා.
මේ අතර, පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොළේ වැටී තිබූ ඩෙටනේටර් 12 ක් පොලිසිය සොයාගෙන තිබූ අතර, පසුව ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂාවක් සිදුකරනු ලැබුවා.
එහිදී එම භූමියේ කසළ ඉවත් කර තිබූ ස්ථානයක තිබී තවත් ඩෙටනේටර් 75 ක් සොයාගෙන තිබෙනවා.