දිවයිනේ ස්ථාන 08 ක අද සිදුවූ පිපිරිම්වලින් මියගිය සංඛ්‍යාව 228 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
පොලිස් වාර්තා වලට අනුව මෙම සිදුවීම්වලින් තුවාල ලැබූ සංඛ්‍යාව 470 ට අධිකයි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සඳහන් කළේ මිය ගිය පිරිස අතර 27 දෙනෙකු විදේශිකයන් බවයි.
කොටහේන - කොච්චිකඩේ පල්ලිය, කටාන - කටුවාපිටිය පල්ලිය, මඩකලපුව - සියෝන් දේවස්ථානය, කොළඹ - ෂැන්ග්‍රීලා, ක්‍රිංග්ස්බරි සහ කොල්ලුපිටිය - සිනමන් ග්‍රෑන්ඞ් යන හෝටල්වල පිපිරීම් වාර්තා වුණේ පෙරවරු 8.45ත්, 9.30ත් අතරයි.
පසුව පස්වරු 1.45ට පමණ දෙහිවල සත්ත්වෝද්‍යානය ඉදිරිපිට පිහිටි උත්සව ශාලාවක තවත් පිපිරීමක් වාර්තා වුණා.
එම පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය බවයි පොලීසිය සඳහන් කළේ.
දෙහිවල පිපිරීමට පෙර ස්ථාන 6ක සිදුවූ පිපිරීම්වලින් මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 81ක් කොළඹ ජාතික රෝහලේත්, මළ සිරුරු 110ක් මීගමුව රෝහලේත්, මළ සිරුරු 28ක් මඩකලපුව රෝහලේත් තැන්පත් කර ඇති බවයි රෝහල් ප්‍රකාශකයින් සදහන් කළේ.
මඩකලපුව රෝහලේ ඇති සිරුරු අතර ළමයින් 14 දෙනෙකුගේ ද මළ සිරුරු පවතින බව ද එම ප්‍රකාශකයා කියා සිටියා.
රාගම රෝහලට රැගෙනවිත් ඇති මළ සිරුරු සංඛ්‍යාව 07ක්.
දෙහිවල පිපිරීම සිදුවී ටික වේලාවකට පසුව දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක පිපිරීම් දෙකක් සිදුවුණා.
එම පිපිරීම්වලින් පොලිස් නිලධාරීන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ.
පසුව දෙමටගොඩ ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ද ක්‍රියාත්මක කෙරුණා.
මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නිතිය පනවා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කලේ පවතින තත්ත්වය සාමාන්‍ය තත්ත්වයකට පත්වන තෙක් මෙම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි.
කෙසේ වෙතත්, මෙම පිපිරීම් සිද්ධි සම්බන්ධයෙන් මේ වන විට 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සඳහන් කළේ.