සිංහල සිනමාවේ රිදී සීනුව යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු, ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක පසුගියදා මොලොවින් සමුගත්තා. ඒ තවත් බොහෝ කලක් ගතවනතුරු ගීත ලෝලීන්ගේ මතකයෙන් නොමැකෙන ආකාරයේ ගීත විශාල සංඛ්‍යාවක් ඉතිරි කරමින්. ඇන්ජලින් ගුණතිලක නම් වූ අග්‍රගණ්‍ය ගායිකාවගේ දරුවන් කිසිවකු ගායන ලොවට අවතීර්ණ වූයේ නැහැ. නමුත්, ඇගේ මුණුපුරකු වන ඉමාල් ජූඩ් සිය මිත්තනියගේ අඩිපාරේ යමින් මේ වන විට සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වී සිටිනවා. මේ ඔහු කියන කතාවයි
ඔබ දැකපු ඇන්ජලින් ගුණතිලක මොනවගේ කෙනෙක්ද?
මට දැන් අවුරුදු විසිහතක්. පොඩි කාලේ ඉඳන්ම මම ආච්චි අම්මා එක්ක තමයි හැදුණේ වැඩුණේ. එදා ඉඳන් මම ආච්චි අම්මාව හඳුනාගෙන සිටියේ සෙනෙහස සහ ආදරය පිරුණු කෙනෙක් විදිහටයි. ආච්චි අම්මාට මුණුපුරන් හතර දෙනෙකුයි එක් මිනිබිරියකුයි ඉන්නවා. ඒ හැම දෙනාටම ආච්චි අම්මා එකසමානව ආදරය කළා. ඒ වගේම බිරිඳක් සහ මවක් විදිහට සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ කාන්තාවක් සහ වෘත්තීය ජීවිතයෙත් ඉහළටම ගිය ගායිකාවක් විදිහටත් මම ඇයව දැක්කා.
ඇය තමන්ගේ දරුවන් ගායන ක්ෂේත්‍රයට යොමු නොකළේ ඇයි?
ආච්චි අම්මාට දූලා දෙන්නෙක් ඉන්නවා. මගේ අම්මා තමයි ඇගේ පොඩි දුව. කොයිතරම් ප්‍රවීණ ගායිකාවක් වුණත් ආච්චි අම්මා කිසිම විටෙක කැමති වුණේ නැහැ තමන්ගේ දූවරු දෙන්නා ගායන ක්ෂේත්‍රයට එනවා දකින්න. මොකද ක්ෂේත්‍රයේ සිදුවෙන සමහර දේවල් ගැන පැහැදීමක් ආච්චි අම්මාට තිබුණේ නැහැ. එහි තිබෙන අඳුරු පැති ඇය දැකලා තිබුණා. ඒ නිසා ගායිකාවක් වෙනවා කියන්නේ කාන්තාවකට විශාල අභියෝගයක් වෙන දෙයක් බව ඇය දැන ගෙන හිටියා. හැබැයි තමන් කෙළින් කතා කරන කෙනෙක් වීම නිසා සහ සීයාගේ රැකවරණය නිසා ගායිකාවක් විදිහට මියයනතුරුම තමන්ගේ නම රැකගෙන ඉන්න ඇයට හැකියාව ලැබුණා.
ඇය බොහොම සැරපරුෂ කෙනෙක් කියලා හිතපු අයත් හිටියා නේද?
ඔව්. ඒකට හේතුව තමයි ආච්චි අම්මා ඕනම කෙනෙකුට කියන්න තියන දේ මූණටම කියපු කෙනෙක් වීම. ඒකට අදාළ තැනැත්තාගේ තරාතිරම මොකක්ද කියන එක ඇයට කිසිසේත්ම අදාළ වුණේ නැහැ. රටේ නායකයකුට වුණත් කමක් නෑ වැරැද්දක් දැක්කොත් ඇය ඒක කියනවාම තමයි. ඒත් හුඟක් අය ඇගේ ඒ ගුණාංගයට කැමැති වුණේ නැහැ. මේ නිසා ආච්චි අම්මා එක්ක අමනාප වූ අයත් හිටියා. ඒත් මම දකින විදිහට නම් ඒ වගේ කොන්ද කෙළින් තියාගෙන කතා කරන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
ආච්චි අම්මාගෙන් ඇගේ දියණියන්ටවත් නොදුන් දායාදයක් ඔබට ලැබුණා. එහෙම නේද?
ඔව්. ඒ තමයි සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්න අවසර ලබාදීම. ආච්චි අම්මාට රසික රසිකාවියන්ගෙන් ලැබෙන ආදරය දැකලයි පොඩිකාලේ ඉඳන්ම මට සංගීතයට ලොකු ආසාවක් ඇති වුණේ. අනික ආච්චි අම්මා නිසා කලා ක්ෂේත්‍රයේ අය දැන හඳුනා ගන්නත් මට අවස්ථාව ලැබුණා. මට අවුරුදු දෙකහමාරෙදී විතර මම ආච්චි අම්මාගේ “පුංචි පුතා මගෙ“ ගීතය වෙනුවෙන් නිර්මාණය වූ ගීත වීඩියෝවක රඟපෑවා. ඒ කාලෙත් මම ඒ ගීතය මුමුණනවා කියලා ආච්චි අම්මා නිතරම පැවැසුවා. පිරිමි ළමයෙක් නිසා මම සංගීත ක්ෂේත්‍රයට එනවාට ආච්චි අම්මා විරුද්ධ වුණේ නැහැ. ආච්චි අම්මා අවසන් වරට පැවැත් වූ ඒක පුද්ගල ප්‍රසංග තුනේදීම මම ඇයත් එක්ක ගීත ගායනා කළා. 2016 වසරෙදි තමයි ඇය අසනීපවෙන්න කලින් අවසන් වරට වේදිකාවේ ගීත ගායනා කළේ. ඒ සරත් දසනායක මහතා වෙනුවෙන් පැවැත් වූ “සරා සඳේ” උපහාර ප්‍රසංගයේදීයි. එහිදී ඇය අවසන්වරට ගායනා කළ “හද විමන් දොරින්” සහ “පාට පොදක්” කියන ගීත දෙකම ඇයත් සමග ගායනා කිරීමේ වාසනාව මට හිමි වුණා.
ආච්චි අම්මා වෙනුවෙන් ගීතයකුත් නිර්මාණය කළා නේද?
ඔව්. “සීත සුළඟක් වෙලා” කියන ඒ ගීතය ඇය ග්‍රේෂන් ආනන්ද මහතා එක්කයි ගායනා කළේ. රොහාන් රූපසිංහගේ පද රචනාවකට මගේ සංගීත අධ්‍යක්ෂයෙනුයි එය නිර්මාණය වුණේ එය තමයි ආච්චි අම්මාගේ අවසන් ගීතය.
බයිලා ගායන ක්ෂේත්‍රයේ කිරුළු පලන් වොලී බැස්ටියන් වරක් ඇන්ජලීන් නමින් ගීතයක් නිර්මාණය කළා. එහි ඇත්ත කතාව මොකක්ද?
වොලි බැස්ටියන් මහතා ඒ කාලේ ආච්චි අම්මලාගේ ගෙදරට කිට්ටුව ගෙදරක පදිංචිවෙලා ඉඳලා තියෙනවා. ඒනිසා ඔහු ආච්චි අම්මලාගේ පවුලේ අය හොඳට හඳුනනවා. ආච්චි අම්මා ඔහු එක්ක ඒ කාලේ යුග ගීත පවා ගායනා කරලා තියෙනවා. ආච්චි අම්මාගේ පවුලේ ඔක්කොම දරුවන් දහදෙනයි. එයින් අටදෙනෙක්ම ගැහැනු ළමයි. ඉතින්, ආච්චි අම්මාගේ පවුලත් එක්ක තිබුණු සමීප ඇසුර නිසා වොලි බැස්ටියන් මහතා ඔහුගේ ගීතයකටත් ආච්චි අම්මාගේත් ඇගේ සහෝදරියන්ගේත් නම් ඇතුළත් කරලා තියෙනවා. ඒ ගීතය තමයි “අයිරින්... ජොසපින්... රොසලින්... ඇන්ජලින්” නමින් ජනතාව අතරේ අදටත් රැඳිලා තියෙන්නේ.
ඇය අවසාන කාලය ගත කළේ මොන විදිහටද?
ආච්චි අම්මා පුදුමාකාර ආත්ම ශක්තියක් තිබුණු කාන්තාවක්. අසනීප තත්ත්වයෙන් හිටියා කියලා ඒ ගැන කිසිම කනගාටුවක් ඇයට තිබුණේ නැහැ. “මම ඉක්මනටම සුවවෙලා ආයෙමත් සින්දු කියන්න යනවා” කියලයි අන්තිම මොහොත දක්වාම ඇය කිව්වේ. අසනීප වුණාට පස්සේ බොහෝ මාධ්‍ය ආයතනවලින් වැඩ සටහන් වලට ඇයට ආරාධනා කළත් ඇය ඒ හැමෝටම කිව්වේ මම සනීපවෙලා වෙනදා වගේ සාරි ඇඳලාම මාධ්‍ය ඉස්සරහට එන්නම් කියලයි.
ඇය මුදල් පරිහරණය කළ හැටි ගැන පවුලේ අය පමණක් දැන සිටි රහස මොකක්ද?
තමන්ට ලැබුණු හැම මුදලක්ම ආච්චි අම්මා කොටස් හතකට බෙදුවා. ඒ සැමියාට කොටසක්, මුනුබුරු මිනිබිරියන්ට කොටසක්, පල්ලිය වෙනුවෙන් කොටසක්, දුප්පත් අයට දීමට කොටසක් ආදී වශයෙනුයි. ඒ විදිහට බෙදලා ඉවර වුණාම ඉතාම සුළු මුදලක් විතරයි ආච්චි අම්මා අතේ ඉතිරිවුණේ. හැමදාම ඇය පත්තර බලලා අසනීප වූ දරුවන් වෙනුවෙන් මුදල් යැව්වා. ඒ හැමදෙයක්ම ඇය බොහොම අප්‍රසිද්ධීයේ කරපු දේවල්.
ආච්චි අම්මාගේ වියෝවෙන් පස්සේ ඇගේ ගීතවල අයිතියට මොකද වෙන්නේ?
ආච්චි අම්මා ගායනා කළ ගීත සංඛ්‍යාව පන්දහසකට වැඩියි. ඒ සියලු ගීත වෙනුවෙන් අපේ මුළු පවුලම පෙනී ඉන්නවා. ඒවා කාටවත් අනිසි විදිහට පාවිච්චි කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.
අප දන්නා විදිහට ඔබේ මිත්තනියට ජනතා සම්මානය නම් නොඅඩුව ලැබුණා. ඇයට රාජ්‍ය මට්ටමින් ලැබුණූ ඇගැයුම් ගැන ඔබට මොකද හිතෙන්නේ?
අදටත් ලංකාවේ වැඩිම චිත්‍රපට පසුබිම් ගීත සංඛ්‍යාවක් ගායනා කරලා තිබෙන ගායිකාව තමයි අපේ ආච්චි අම්මා. නමුත් ඒ සඳහා හරි හමන් ඇගැයුමක් ජීවත්ව සිටි කාලේ ඇයට රාජ්‍ය මට්ටමින්වත් ලැබුණේ නැහැ. සුමති, ඕ.සී.අයි.සී. වගේ සම්මාන කිහිපයක් විතරයි ඇයට ලැබිලා තියෙන්නේ. රජයෙන් ලැබුණු එකම සම්මානය වන කලා භූෂණ සම්මානය දුන්නෙත් ඇය අසනීප වුණාට පස්සෙයි. ඇගේ මළගෙදරට නම් හුඟක් අය ආවා. ඒත් ආච්චි අම්මා නිතර කීදෙයක් තමයි ජීවතුන් අතර සිටිද්දි නොලැබෙන උපහාර, මිය ගියාට පස්සේ ලැබිලා වැඩක් නැති බව.
ඒ නිසා දැනට ජීවත්ව සිටින වටිනා කලාකරුවන්ටවත් එවැනි ඉරණමක් අත්නොවෙන්න වග බලා ගන්න කියලයි ආච්චි අම්මා වෙනුවෙන් අවසාන වශයෙන් මට ඉල්ලන්න තියෙන්නේ.
කිෂාන් කනංකෙ