අගුණකොළපැලැස්ස උස්වැව දික්වැව ප්‍රදේශයේදී එකම පවුලේ හය දෙනකු වෙඩි තබා කපා කොටා නිවස තුළම ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ විත්තිකරුවන් දස දෙනකුට තංගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා ඊයේ (11 දා) මරණ දඬුවම නියම කළා. මෙම මරණ දඬුවම හිමිවූයේ එකම පවුලේ සිව් දනෙකු ඇතුළු විත්තිකරුවන් දස දෙනකුටයි. මෙම දස දෙනා අතරින් එක් විත්තිකරුවකු අධිකරණය මඟ හැර සිටින නිසා නඩු විභාගය පැවැත්වූයේ ඔහු නොමැතිවයි.
උස්‌වැව, දික්‌වැව ප්‍රදේශයේ පදිංචි ලියනපතිරණගේ ආරියදාස, ලියනපතිරණගේ රූපසේන, ලියනපතිරණගේ දයානන්ද සහ ලියනපතිරණගේ නන්දසේන යන එකම පවුලේ සිව්දෙනා සහ ගුරුසිංහගේ ජගත් නීල් කුමාර, රදම්පල ගමගේ ආරියදාස, ගුණසේකර සතරසිංහගේ රංජිත්, අලුත් ආරච්චිගේ සුජිත්කුමාර, දන්දෙනිය ගමගේ චන්දිමාල් යන අයද අධිකරණය මඟහැර සිටින චමින්ද රෝහණ පරණමාන නමැත්තාද මෙසේ මරණ දඬුවමට ලක් වුණා.
1998 දෙසැම්බර් 18 දින හෝ ඊට ආසන්න දිනකදී අඟුණකොළපැලැස්‌ස උස්‌වැව දික්‌වැව රදම්පලගෙදර පදිංචිව සිටි එකම පවුලේ මව වන මහන්තෙ ගමගේ සුමනාවතී (46) සහ දරුවන් වන පාලිත සමරසිංහ (22) ප්‍රියන්ත සමරසිංහ (24), අජිත් කුමාර සමරසිංහ (16) සුරංග සමරසිංහ (11) සහ සංජීවනී සමරසිංහ (9) යන හය දෙනා කපා කොටා ඝාතනය කර තිබුණා.
මෙම දරුවන්ගේ පියාවන පීටර් සමරසිංහ යන අයද 1991 පෙබරවාරි 08 වැනිදා ඝාතනයට ලක්‌ව ඇති අතර එම ඝාතන නඩුවේ විත්තිකරුවන් ලෙස මෙම විත්තිකරුවන්ව නම් කර තිබුණත් ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති නිසා විත්තිකරුවන් එම නඩුවෙන් නිදහස්‌ව තිබෙනවා.
මෙම සයපුද්ගල ඝාතන නඩුව සම්බන්ධව විත්තිකරුවන් විසි තුන් දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර තිබූ අතර ඉන් සිව් දෙනෙක් මේ වන විට මියගොස් තිබෙනවා. රන්සිස්‌කු බදුගේ ජයසේන, ගජනායකගේ අජිත් කුමාර, විජනිගේ පියසේන, සුදුසිංහ ගුණසේන එම අයයි.
සෙසු විත්තිකරුවන් වරින්වර නිදහස්‌වී තිබෙනවා. පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ ඔස්‌වල්ඩ් පෙරේරා මහතා සහ සචිනි ඉද්දමල්ගොඩ මෙනෙවිය පෙනී සිටියා. අඟුණකොලපැලැස්‌ස පොලිස් ස්‌ථානයේ සැරයන් (45017) ඩී. වී. ආරියරත්න මහතා පැමිණිල්ල මෙහෙයවන ලැබුවා.