පසුගියදා වාද්දූව වෙරළ ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ සාදය ගැන මේ වන විට කරුණු රැසක් ආනාවරණය කරගෙන තිබෙනවා. සාදය අතරතුරදී රෝගාතුරු වී 4 ක දෙනෙකු හදිසියේ මියගිය අතර ඔවුන් මියයාම කාටත් අභිරහසක් වූ සිද්ධියක් බවට පත් වුණා. මේ ඒ සාදය ගැන ඇහෙන තවත් කතාවක්.
එය DJ සාදයක්. නන්දෙසින් පැමිණි තරුණ තරුණියන් සහ මැදි වයසෙහි පසුවන තැනැත්තන් 1,800ක් පමණ මෙම සාදය සඳහා පැමිණියහ.සාදය පැවැත්වුණේ වාද්දුව ප්‍රදේශයේ සුන්දර වෙරළක් අසල පිහිටි හෝටලයක් තුළයි.
මෙම සාදය සංවිධාන කෙරුණේද ෆේස්බුක් හරහාය. හෝටල් පරිශ්‍රයට ඇතුළු වීමට සංවිධායකයන් නිකුත් කළ ප්‍රවේශ පත්‍රයක් මිලදීගෙන තිබීම අනිවාර්ය විය. ෆේස්බුක් හරහා එම ප්‍රවේශ පත්‍ර අලෙවි කර තිබිණි. ඉන් එක් ප්‍රවේශ පත්‍රයක මිල වන්නේ රුපියල් 3000කි. එය සාමාන්‍ය ප්‍රවේශ පත්‍රය ලෙස සැලකේ. ඊට ජලය, පලතුරු සහ බියර් නොමිලේ ලබා දීමට සංවිධායකයන් එකඟ වී තිබිණි.
අනෙක් ප්‍රවේශ පත්‍රයෙහි මිල සඳහන් වූයේ රුපියල් 5000ක් ලෙසටය. සංවිධායකයන් එය හැඳින්වූයේ ප්‍රභූ ප්‍රවේශපත්‍ර ලෙසටය. ඊට ජලය, පලතුරු සේම විදේශීය මත්පැන් වීදුරු කිහිපයක්ද හිමි වේ.
මෙම සාදයට මෝල්ටාවේ ප්‍රසිද්ධ DJ ශිල්පියකු සහභාගි වන බවටද සංවිධායකවරුන් ෆේස්බුක් හරහා දැවැන්ත ප්‍රචාරයක් ලබා දී තිබිණි.
එසේම මෙරට ඩී.ජේ. ශිල්පීන් කිහිපදෙනකුද එම සාදයට සහභාගි වන බවද සංවිධායකවරුන් ෆේස්බුක් හරහා දැවැන්ත ප්‍රචාරයක් ලබා දී තිබිණි.
සංගීතයෙන්, නර්තනයෙන් සහ මත් වතුරෙන් විනෝද වීම සඳහා කැමැත්තක් දැක්වූ 1,800ක පමණ පිරිසක් ඉකුත් 4 වැනි දින පස්වරු 6.00 වන විටත් වාද්දුව ප්‍රදේශයේ පිහිටි අදාළ හෝටලය වෙත සේන්දු වූහ.
එම හෝටල් පරිශ්‍රයද අධි ආරක්ෂිත කලාපයක් ලෙසට පත් කිරීමට සංවිධායකවරුන් කටයුතු කර තිබිණි.
ඒ සඳහා සංවිධායකවරු පෞද්ගලික ආරක්ෂක අංශයක සහායද ලබා ගත්හ. හෝටල් පරිශ්‍රයට පිවිසෙන සියලුම දෙනාටම හඳුනා ගැනීමේ අත්පලඳනාවක් ලබා දීමට ආරක්ෂක අංශ නිලධාරීහු කටයුතු කළහ.
එසේම හෝටල් පරිශ්‍රය තුළට සංවිධායකවරුන් මුදල් ගෙවා පෞද්ගලික ගිලන් රථයක්ද එහි කාර්ය මණ්ඩලය සමඟ කැඳවා තිබිණි.
නන්දෙසින් පැමිණි විනෝදකාමීන්ගෙන් හෝටල් ගොඩනැඟිල්ල පිරී ඉතිරී ගියේය.හෝටල් ගොඩනැඟිල්ලේ සුව පහසුවෙන් සිටීමට හැක්කේ පුද්ගලයන් දහසකට පමණි. නමුත් එම පුද්ගල සංඛ්‍යාව දෙගුණයට ආසන්න වී තිබීම හේතුවෙන් දැඩි තදබදයක් ගොඩනැඟිල්ල තුළ විය.
කෙසේ වෙතත් කරුවල වැටෙත්ම ඩී.ජේ. සාදය ආරම්භ විණි.දෙස් විදෙස් ඩී.ජේ. ශිල්පීහු සිය දස්කම් පෙන්වමින් පැමිණි පිරිසට මහත් වූ විනෝදයක් සපයනු ලැබූහ.
ඇතැම් පිරිස් හෝටල් භූමියට පැමිණ ඇත්තේ පිටතින් හොඳවයෙන් දෙකක් දමාය.ඔවුහු වෙරි මතින් නර්තනයේ යෙදෙති. හෝටල් පරිශ්‍රය තුළද ඇති වෙන්නට මත්පැන් සහ සිගරට් ඇත.
තරුණ තරුණියෝ සිතූ පැතූ අයුරින් ඩී.ජේ. සංගීතයත් සමඟ විනෝද වූහ.එම ගොඩනැඟිල්ලද මෑතකදී ඉදිකළ එකකි. එය වායුසමනය කළ ගොඩනැඟිල්ලකි. නමුත් සාදයට ප්‍රමාණය ඉක්මවා පිරිසක් සහභාගි වී සිටි නිසා වායුසමනය ඔවුනට දැනුණේවත් නැත.
පැය දෙක තුනක් ඇතුළත මුළු ගොඩනැඟිල්ල සිගරට් දුමාරයෙන් වැසී ගියේය.කුල්මත් වූ තරුණ තරුණියන්ද කමින් බොමින් නටමින් ප්‍රීති වෙමින් සිටියහ.
මධ්‍යම රාත්‍රියද එළැඹිණි. ගතවූයේ හෝරා කිහිපයකි. සාදයේ විනෝද වෙමින් සිටි තරුණයෙක් හෝටල් ගොඩනැඟිල්ල තුළ සිහිමූර්ඡා වී බිම ඇද වැටිණි. ගතවූයේ විනාඩි කිහිපයකි. එලෙසම තවත් තිදෙනකු හදිසියේ හටගත් අසනීපයක් හේතුවෙන් බිම ඇද වැටිණි.
හෝටල් පරිශ්‍රය තුළ නවතා තිබූ පෞද්ගලික ගිලන් රථයෙන්ම එම පිරිස් පානදුර රෝහල වෙත රැගෙන යෑමට සංවිධායකයෝ පියවර ගත්හ.ඉකුත් ඉරුදින (5දා) පෙරවරු 7.00ට පමණ වාද්දුව පොලිසියට පානදුර රෝහලෙන් පණිවුඩයක් ලැබිණි.
එහි සඳහන් වූයේ වාද්දුව වෙරළ හෝටලයේ පැවැති සාදය අතරතුර හදිසි අසනීප තත්ත්වයන් හේතුවෙන් රෝහලට ඇතුළත් කළ තරුණයන් සිවුදෙනාගෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූ බවටයි. අනෙක් තරුණයාගේ තත්ත්වයද බරපතළ බව එහි සඳහන් විය.
පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි පී.ආර්.පී. සේනානායක, සහකාර පොලිස් අධිකාරි සුසිල් විජේගුණවර්ධන යන නිලධාරීන්ගේ අධීක්ෂණය මත වාද්දුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලාලිත වීරසිංහ සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තුසිත සිල්වා යන අයගේ උපදෙස් සහ මෙහෙයවීම මත මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබීය.
මේ අතර ඉකුත් ඉරිදා දින පස්වරුවේ අසාධ්‍ය තත්ත්වයෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් තරුණයාද අවසන් හුස්ම වා තලයට එක් කළේය.
කැස්බෑව ප්‍රදේශයේ පදිංචිව සිටි එරන්ද පෙරේරා (36), දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මෙලාන් ශාමික (20), මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි විදුරංග දිල්ෂාන් (31), පොතුහැර ප්‍රදේශයේ පදිංචිව සිටි මනෝජ් විජේසේකර (28) යන අය මෙලෙස ජීවිතවලින් සමුගෙන තිබිණි.
වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ප්‍රථමව වාද්දුව ප්‍රදේශයේ පිහිටි අදාළ වෙරළ හෝටලයට ගොස් විමර්ශන කටයුතු ආරම්භ කළහ.
අසීමිත ලෙස මත්ද්‍රව්‍ය ලබාගෙන තිබූ එම හෝටල් පරිශ්‍රය පරීක්ෂා කිරීම සඳහා මත්ද්‍රව්‍ය වැටලීමට දක්ෂ පොලිස් නිල සුනඛයකුද යෙදවීමට පොලිසිය කටයුතු කළහ.
හෝටල් පරිශ්‍රයේ බිම වැටී තිබූ දුම්වැටි, මත්පෙති වර්ග පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා එම පරිශ්‍රයට මුද්‍රා තැබීමටද පොලිස් නිලධාරීන් කටයුතු කළේය.
අදාළ සාදය සංවිධාන කළ මාලඹේ ප්‍රදේශයේ පිහිටි ප්‍රචාරක ආයතනයේ හිමිකරු ඇතුළු සේවකයන්ගෙන්ද දීර්ඝ ලෙස පොලිස් නිලධාරීහු ප්‍රකාශ ලබා ගත්හ.
දිව්‍ය ලෝකයට ඇතුළුවන ගේට්ටුව ලෙස හැඟවෙන නමක් භාවිත කරමින් මෙම ආයතනය ෆේස්බුක් හරහා මෙම සාදය සංවිධාන කර ඇති බවද විමර්ශනවලදී හෙළිව තිබේ.
මීට පෙරද ඔවුහු අවස්ථා හතරකදී පමණ රටේ විවිධ ප්‍රදේශවල මෙවැනි සාදයන් පවත්වා ඇත.සංවිධායකවරුන් වාද්දුව පොලිසියෙන් ශබ්ද යන්ත්‍ර භාවිත කිරීම සඳහා වන බලපත්‍රයද ලබා ගැනීමට කටයුතු කර තිබේ.හෝටල් පරිශ්‍රය තුළ බියර් ලබාදීම සඳහාද සංවිධායකවරුන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඊට අදාළ අවසර පත්‍රය ලබාගෙන ඇත.
නමුත් එම බලපත්‍රයට මුවා වී ඔවුහු සැර වැඩි මත්පැන් ලබා දී ඇති බවද හෙළිව තිබේ.මෙම ප්‍රශ්නගත සිවු පුද්ගල මරණය සම්බන්ධයෙන් හෝඩුවාවක් ලබා ගැනීම සඳහා පානදුර මූලික රෝහලේදී ඉකුත් 6 වැනි දින එම සිවුදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කෙරිණි.
එහිදී එම මරණ හතර සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදුන් පානදුර මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය උත්පල ආටිගල ඔවුන්ගේ ලේ, මුත්‍රා සහ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළේය.
එම නිසා මෙම සිවු පුද්ගල මරණය තවමත් අබිරහසකි. සංවිධායකයන් හිතන පරිදි දිව්‍ය ලෝකයට ඇතුළු වීමට පැමිණි තරුණයන් සිවු දෙනකු ජීවිත ගමනේ ෙදාරගුළු වසා දමා හමාරය.
මීට අදාළව සාදය සංවිධානය කළ පෞද්ගලික සමාගම් ලියාපදිංචි හිමිකාරිනියගේ ස්වාමිපුරුෂයා වන සාදයේ කටයුතු භාර පුද්ගලයා වූ කඩුවෙල, කොරතොට, තුංඅඳහේන ප්‍රදේශයේ පදිංචි අමිල පුෂ්පකුමාර (36) සහ මෙහි ප්‍රචාරණ කටයුතු භාරව සිටි ගොතටුව නව නගරයේ පදිංචි එරන්ද දන්තනාරායන (36) යන දෙදෙනා වාද්දුව පොලිසිය විසින් ඉකුත් 9 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම සාදයේදී නොසැලකිලිමත් ක්‍රියා සිදුව ඇති බවට විමර්ශනවලදී තීරණය වීම හේතුවෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 327 වගන්තිය යටතේ එන නොසැලකිලිමත් ක්‍රියා සිදු කිරීම චෝදනාව යටතේ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම මත ඉකුත් 08 වැනි දින වාද්දුව පොලිසිය ඉදිරිපිට විරෝධතාවක්ද පැවැත්විණි.
කෙසේවෙතත් පොලිස් අත්අඩංගුවට ගත් මෙම සාදය සංවිධානය කළ සමාගමේ හිමිකාරියගේ සැමියා හා ප්‍රචාරක නිළධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළා.
තවමත් මෙහි නෛතික පර්යේෂණ කටයුතු අවසන් නැත.පාර්ලිමේන්තුවේ පවා කතාබහකට ලක්වූ මෙම සිද්ධියේ සත්‍ය තොරතුරු විද්‍යාත්මක පරීක්ෂණවලින් ඉදිරියේදී අනාවරණය වීමට නියමිතව ඇත.
VIDEO VIDEO