විල්පත්තුව අවට වන විනාශය සම්බන්ධ නඩුවෙන් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සිදු කළ ඉල්ලීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල තීරණය කළේ එම නඩුව නොවැම්බර් 12 වැනිදා සිට විභාගයට ගැනීමටයි.
නැවත පදිංචි කිරීම්වලට මුවා වී විල්පත්තුව ආශ්‍රිතව සිදුකර ඇති වන විනාශය සම්බන්ධයෙන් මෙම නඩුව ගොණුකර ඇත්තේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකුට එරෙහිවයි.
මෙම නඩුවෙන් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා දිවුරුම් ප්‍රකාශයක් මගින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකළ අතර, එහි දක්වා තිබුණේ මේවන විට හෙළිපෙහෙළි කරමින් පවතින විල්පත්තු ආශ්‍රිත රක්ෂිතය 1990 දක්වා ජනපදයක්ව පැවති බවයි.
LTTE තර්ජනය හේතුවෙන් ඉන් ඉවත්ව ගිය ජනතාව මේවන විට යළි පදිංචිවීමට කරන උත්සහයක් මිස එය රක්ෂිතය විනාශ කිරීමක් නොවන බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා එහි සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත්, බදියුදීන් අමාත්‍යවරයා ඉදිරිපත් කළ කරුණු අසත්‍ය බව, චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් භූමි සිතියම් හා රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ භූමි සිතියම් ඉදිරිපත් කරමින් පෙත්සම්කාර පාරශ්වය පෙන්වා දී තිබෙනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ දිවුරුම් ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් අදාළ නඩුව විභාගය කිරීමට නියෝග කළා.
හිරු සී.අයි.ඒ.හරහා 2015 වසරේ සිට අවස්ථා ගණනාවකදී නැවත පදිංචි කිරීම්වලට මුවා වී විල්පත්තු උතුරු අභය භූමියේ කොටසක් හා කල්ආරු වනාන්තරය සුනු විසුනු කර ඇති අයුරු අනාවරණය කළා.
ඒ අනුව මෙම වනවිනාශයට එරෙහිව සමාජය පුරා දැවැන්ත ජන මතයක් ගොඩනැගුනා.
පරිසරවේදීන් ද පෙන්වා දෙන්නේ වන සංරක්ෂන ආ පනත, ජාතික පාරිසරික පනත, පුරා විද්‍යා ආ. පනත මෙන්න වන සත්ව හා වෘක්ෂ ලතා ආ. පනත උල්ලංඝනය කර මෙම නීති විරෝධී නැවත පදිංචිකිරීම් සිදුකර ඇති බවයි.
මේ අතර, විල්පත්තු ආශ්‍රිත වන විනාශය පිළිබඳව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පවත්වාගෙන යන බෞද්ධ කොමිෂන් සභාව වෙත පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද පස්වරුවේ සාක්ෂි ලබාදුන්නා.