"අපේ පන්දු යවන්නෝ වැඩ පෙන්නුවේ නෑ"
"අපි කල්පනා කරන්නේ ඔවුන් ගැන නෙමෙයි ඔවුන් පාලන කිරීම ගැනයි"
නිදහස් කුසලානයේ ශ්‍රී ලංකා-බංග්ලාදේශ තීරණාත්මක තරගය හෙට(16) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සවස 7ට අරම්භවීමට නියමිතයි.
මේ තරගාවලියේදී කාසියේ වාසිය තීරනාත්මක සාධකයක් දැයි මාධ්‍යවේදීන් අද පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහගෙන් ප්‍රශ්න කළා. ඔහු ඊට ලබාදුන්නේ මෙවැනි පිළිතුරක්.
"කාසියේ වාසිය වැදගත් කියලා මම හිතන්නේ නෑ. ඊයේ තරගය බලන්න කාසියේ වාසිය දිනලා පස්සේ බැට් කරලා තරගය පැරදුනා. කාසියේ වාසිය දිනුවත් නැතත් කොහමද තරග වදින්නේ කියන සැලැස්ම අපි ලග තියනවා. මට හෙට තරගය සම්බන්දයෙන් කිසිදු පීඩනයක් නෑ. මම දන්නේ නෑ පීඩනය කියන්නේ මොකක්ද කියලා. හෙට තරගය අපිට තවත් තරගයක් විතරයි."
බංග්ලාදේශ සමග තරගය පරාජය වීම ගැනද මේ මාධ්‍ය හමුවේදී පුහුණුකරු හතුරුසිංහගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරැ ලබාදෙමින් ඔහු ප්‍රකාශ කලේ,
"ඔව් ඒ තරගයේදී අපේ පන්දු යවන්නන් හරියට කලේ නැහැ. ඒ තරගයේදී අපි කරපු වැරදි මොනාද කියල අපි දන්නවා. ඒ වගේම අඩු පන්දුවාර වේගයක් රදවා ගැනීමේ වරද ගැන අපේ අවධානය යොමු වෙලා තියනව. ඒ තත්වය මගහරවා ගැනීම ගැන අපි කතා කරලා තියනවා."
සකිබ් අල් හසන් යලි බංග්ලාදේශ කණ්ඩායම සමග එක්වීම ගැනද හතුරුසිංහගෙන් ප්‍රශ්න කළා. ඊට ශ්‍රී ලංකා පුහුණුකරුවා දුන්නේ මෙවැනි පිළිතුරක්,
"ඔවුන්ගේ කණ්ඩායමේ වෙනස්කම් සිදුවීම, සකිබ් යලි පැමිණීම වගේ දේවල් ඔවුන්ට ලැබෙන වාසි. අපි කල්පනා කරන්නේ ඔවුන් පාලනය කරන ක්‍රම ගැන. ඒ වගේම පන්දු යැවීම පැත්තෙන් අපි බලලා තියනවා, මේ තරගාවලිය ආරම්භ කරද්දී අපි හිතුවා මේ අය තමයි අපේ හොදම පන්දු යවන්නෝ කියලා. අපි තාමත් ඒ අය ගැන විශ්වාස කරනවා. අපි කියන්නේ නෑ ඒ යට බෑ කියලා. මම කියන්නේ ඒ පන්දු යවන්නෝ ඔවුන්ගේ දක්ෂතා හරියට පෙන්නුවේ නෑ කියලා."