බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවීමට ගත් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අවලංගු කර ඇතැයි කියන සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් ඊයේ (7) දහවල් වනතුරුත් ලිඛිතව විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබී නැතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
ලන්ඩන් නුවර පැවති නිදහස් දින සැමරුම් උත්සවයකදී මෙම බ්‍රිගේඩියර්වරයාගේ හැසිරීම පිලිබඳව සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශන පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අවසන් වන තුරු විදේශ අමාත්‍යංශය ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.
මේ පිළිබඳව ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය අවශ්‍ය උපදෙස් ලබාදුන් බව විදේශ කටයුතු අමාත්‍යංශය පෙරේදා (6) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
මෙම සිද්ධිය පිළිබඳව යුද හමුදාව විසින්ද නිදහසට කරුණු විමසා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කර තිබෙන බවත් වාර්තාවනවා.
මේ අතර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව යුද හමුදාව හරහා කිසිදු පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරනවා.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ යුද හමුදාව හරහා පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.
පෙබරවාරි 4 ජාතික නිදහස් දිනය දා, ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට පැමිණි එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.
එහිදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ඔවුන් ඉදිරියට පැමිණ කිසියම් සංඥාවක් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වූ අතර, ඒ සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් මතුවුණේ විදේශ අමාත්‍යාංශය ඔහුගේ සේවය අත්හිටවූ බව නිවේදනය කිරීමත් සමගයි.
පසුව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි යළිත් එම තනතුරෙහි පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කළ බවයි වාර්තාවුණේ.