පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පිටව ගිය ගලේවෙල පොලිසියට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු ගලේවෙල බේලියකන්ද ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීමක් සිදු කළැයි කියන චෝදනාවක් මත සැකපිට අද දින (8) පෙරවරුවේ ගලේවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානාච්චි මහතා විසින් මෙම පැමිණිල්ල මෙහෙයවා.
දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ගාමිණී මීගහකුඹුර මහතා වෙත ඉදිරිපත් කොට තිබේ. පසුව සහකාර පොලිස් අධිකාරීවරයා අද දින උදෑසන ගලේවෙල පොලිසියට ගොස් මෙම පැමිණිල්ල පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
පොලිස් කොස්තාපල්වරයාගේ අතවරයට ලක්වූ කාන්තාව මේ වන විට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය.
අතවරයට පත් කාන්තාව පොලිසියට කියා ඇත්තේ තම සැමියා නොමැති අවස්ථාවේ අවුරුදු එකහමාරක් පමණ වයසැති තම දරුවා සමග නිවසේ සිටියදී නිල ඇඳුමෙන් සැරසුණු මෙම පොලිස් කොස්තාපල්වරයා බලහත්කාරයෙන් තමන්ට ලිංගික අතවර සිදු කළ බව ය.
පසුව මෙම පොලිස් කොස්තාපල්වරයා නැවත වරක් තමන් පැමිණෙන බව පවසමින් එම නිවසේ ස්ථානයක ඔහුගේ ජංගම දුරකථනයේ අංකය පවා ලියා පිටව ගිය බවද ඇය පොලිසියට ප්‍රකාශ කොට තිබේ.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ගාමිණී මීගහකුඹුර මහතා සඳහන් කළේය.
පොලිස් නිලධාරියෙක් වුවද නිතිය කඩන්නේ නම් ඔවුන්ට විරුද්ධව උපරිම නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පසුබට නොවන බවත් ගලේවෙල ප්‍රදේශයේ සිවිල් ජනතාව සමග ඉතා සහයෝගයෙන් සමීපව කටයුතු කරන වකවානුවක මෙවැනි ක්‍රියා කිරීම පිළිබඳව විශේෂයෙන් මෙම පොලිස් කොස්තාපල්වරයා පිළිබඳව වෙනම විනය පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානාච්චි මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.