සුරාජ් මාපා කියන්නේ ප්‍රේක්ෂකයින්ගේ ආදරේ දිනා ගත්ත නළුවෙක්.පුංචි තිරයේ ඉන්න අහිංසකම පෙම්වතා ඔහුයි. ඒ නිසාම බොහෝ දෙනා ඔහුගේ ආදරයට ආදරය කරනවා. හැමෝම ආදරය කරන ඔහු ඔහුගේ ආදරය ගැන කතා කරලා තිබුණා පුවත්පතකට මේ විදිහට.
සුරාජ් මාපා කිව්වාම ඔබ ගැන මේ රටේ ඉන්න ප්‍රේක්ෂකයෝ විවිධ චිත්ත රූප මවා ගන්නවා. ඒත් ඔබ සතුට හා දුක කියන වචන දෙක කෙටියෙන් විස්තර කරන්නේ කොහොමද කියලා ඔවුන්ට හිතාගන්න බැරි වෙයි. ඒ නිසා මුලින්ම ඒ ගැන ඔබේ අදහස කිව්වොත්.
සතුට කියන්නේ නිදහසට. දුක කියන්නේ නිදහසට සීමාවක් එකතුවීම තුළින් දැනෙන කනගාටු දායක හැඟීම්වලට.
දශක එක හමාරක ඔබේ කලා ජීවිතය තුළ ඔබ අත් විඳපු ලොකුම සතුට යළි මතක් කරන්න කීවොත්?
මම ජනප්‍රිය නළුවා විදියට සම්මාන ලබලා තියෙනවා.කුසලතා සම්මාන ලබලා තියෙනවා. හොඳම නළුවා විදියට නිර්දේශ වෙලත් තියෙනවා. ඒ හැම අවස්ථාවකම මට දැනුණේ පුදුමාකාර සතුටක්. ඒ අතරින් වැඩිම සතුටක් ඇති වුණේ හොඳම නළුවාට නිර්දේශ වූ අවස්ථාවේ හා කුසලතා සම්මාන ලැබූ අවස්ථාවේ. ඊට හේතුව ඒ ඇගයීම් මගේ රංගන කුසලතාවය වෙනුවෙන් ලැබුණු ඇගයීම් නිසා.
කලා ජීවිතය තුළ ඔබ විඳපු ලොකුම දුක මතකද?
පිටින් බලන අයට හරි සුන්දරයි කියලා හිතුනට කලා ලෝකය පුරාම තියෙන්නේ දුක තමයි. එකට ඉන්න අයගෙන් ලැබෙන කැපිලි කෙටිලි, ලැබිය යුතු අවස්ථා අහිමිවීම්.ඔය අතර සමහර නාලිකා අපිව රවටන අවස්ථා. ඔන්න ඔය වගේ දේවල් අනන්තවත් මගේ ජීවිතය තුළ සිදුවෙලා තියෙනවා.
ඒ කියන්නේ කලා ජීවිතයේදී සුරාජ් ලොකුම දුක වින්දේ රූපවාහිනී නාලිකාවල සිටින විවිධ පුද්ගලයන් නිසා?
ඒ, එක පැත්තක් විතරයි. මම තවත් දුක හිතුණු සිදුවීමක් කියන්නම්. එක්තරා චිත්‍රපටයකට මට ආරාධනාවක් ලැබුණා. එහි ප්‍රධාන චරිතය මගේ නර්තන හැකියාවන් මතු කරන්න ලැබුණු හොඳ අවස්ථාවක්. ඒත් දින ප්‍රශ්නයක් හින්දා මට ඒ ආරාධනාව භාරගන්න බැරිව ගියා. ඒ නිසා මට ලැබුණු චරිතය වෙනත් නළුවකු රඟපෑවා. ඒ අවස්ථාව අහිමිවීම මට ලොකු දුකක් ඇති කළා.
පෞද්ගලික ජිවිතේ ඔබ අත් විඳපු ලොකුම දුක මොකක්ද?
2016 ජූලි 13 තාත්තාගේ අභාවය සිදු වූ දවස.
දුක ගැන කතා කළා දැන් ඇති. දැන් අපි කතා කරමු පෞද්ගලික ජීවිතේ අත් විඳපු ලොකුම සතුට ගැන?
ආදරේ අරගෙන කාලෙන් කාලෙට අපේ ජීවිතවලට ළං වෙන අය ඉන්නවා. ඔය අතරේ මට හැම අතින්ම ගැළපෙන කෙනෙක් මගේ ජීවිතේට ළං වුණා. ඒ මම හොයපු කෙනා. ඒ අවස්ථාව තමයි ජීවිතේ වැඩියෙන්ම සතුටු වූ අවස්ථාව
ඔබට ආදරය සතුටක්ද දුකක්ද?
ආදරය කියන්නේ දුක තුළින් විඳින සතුටක්.
ආදරය හින්දා ඔබ වැඩියෙන්ම සතුටු වූ අවස්ථාව මොකක්ද?
පෞද්ගලික ජීවිතේ විඳි ලොකුම සතුට මොකක්ද කියලා අහපු ප්‍රශ්නෙට දීපු උත්තරේ තමයි මේ ප්‍රශ්නෙටත් දෙන්න වෙන්නේ.
ආදරය හින්දා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව මතකද?
දෙපාර්ශ්වයේ අය විසින් ඔය කිව්ව කෙනා මගෙන් දුරස් කිරීම.
වැඩියෙන්ම ආදරේ කරපු කෙනා අහිමි වීමෙන් දැනුණු දුක තවමත් සුරාජ් විඳිනවාද?
අහිමි වුණේ නැහැ. ඒත් ඈතයි. අපි දැනට ඔය ගැන වැඩිපුර කතා නොකර ඉමු.