පසුගිය විසිහතර වැනිදා උදේ ඔහු රැකියාවට ගියේ වැඩිමල් දරුවා මොන්ටිසෝරියට ඇරලවීමෙන් අනතුරුවය.
සේවා ස්ථානයට ගොස් පැවරී තිබු හදිසි රාජකාරී අවසන් කළ ඔහු බිරියට දුරකථන ඇමතුමක් ගන්නා විට වේලාව උදේ දහය පසුව තිබිණි.
වෙනදාට ඇය දෙතුන්වරක් නාද දෙද්දී දුරකථනයට ප්‍රතිචාර දක්වන්නීය. එහෙත්... එදින සැමියාගේ ඇමතුමට කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
“ගෙදර වැඩ වෙන්න ඇති. පස්සේ ගනිවි” යැයි සිතු සැමියා සිය රාජකාරී කටයුතු වල දිගටම නිතර විය.
ටික වේලාවක් ගෙවී යද්දී ඔහුගේ ජංගම දුරකථනය නාද වන්නට පටන් ගත්තේය.
“රම්සියා වෙන්න ඇති” යැයි සිතා කලිසම් සාක්කුවේ තිබු ජංගම දුරකථනය අතට ගෙන බලද්දී ඔහු දුටුවේ ඇමතුම අල්ලපු ගෙදර අක්කාගෙන් බවය.
“මල්ලී..... මං කඩේට ගිහින් එද්දී රම්සියා මිදුලේ වැටිලා හිටියා. මම මේ එයා ළඟ ඉන්නේ. සිහිය නෑ වගේ. ඔලුවෙන් ලේත් ගලනවා. ඉක්මනට එන්න”
අල්ලපු ගෙදර අක්කගෙන් ලැබුණ දුරකථන ඇමතුමෙන් කලබලයට පත් ඔහු කාර්යාල මිතුරකු අමතා සිය බිරිය මරා දමා ඇති බව පවසා කලබලයෙන් නිවෙස බලා යාමට පිටත් විය.
කයිටිස් පොලිසියට දුරකථන ඇමතුමක් දෙන මිතුරා සිය නම හෙළි නොකොට පවසා සිටියේ ෂන්මුගනාද පාර පහළ කොටසේ පරණ උසාවිය පිටුපස නිවෙසක කාන්තාවක් කපා කොටා මරා දමා ඇතිබවයි.
මෙම තොරතුරු ලද වහාම පොලිස් කණ්ඩායමක් එම නිවෙස බලා පිටත්විය. පොලිසිය යනවිට තුවාලකාරිය රෝහලට රැගෙන ගොස් තිබු අතර ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා තිබුණේ රෝහලට ඇතුලත් කිරිමේදී ඇය මිය ගොස් සිටි බවයි.
වහා ක්‍රියාත්මක වූ පොලිසිය කයිටිස් දූපත වටා පිහිටි මුරපොළවල් වලට උපදෙස් දෙමින් කියා සිටියේ පිටවන වාහන සියල්ලම හොඳින් පරීක්ෂාවට ලක්කරන ලෙසය.
මණ්න්ඩතිව් මාර්ග බාධකයට අතිරේක පොලිස් කණ්ඩායමක් ද යැවු අතර සියලුම වාහන මෙන්ම ඒවායේ පැමිණෙන පුද්ගලයන් ද දැඩි පරීක්ෂාවට ලක් කෙරිණි.
එලෙස පරීක්ෂාවට භාජනය කළ එක් ත්‍රිරෝද රථයක පිටුපස අසුනේ සිටි තිදෙනාගෙන් දෙදෙනකු පිළිබඳ පොලිසියට යම් සැකයක් මතුවිය. ඒ... එම දෙදෙනාම වඩුක්කෝට්ටේ පදිංචි මිතුරන් වූ නිසාත් ඉන් එක් අයකුගේ ඇඳුම්වල රුධිරය තැවරී තිබු නිසාත්ය. එම ත්‍රිරෝද රථය පිටුපස සිටි අනෙක් අය කාන්තාවකි.
“මේ... මම බඳින්න ඉන්න එක්කෙනා. මෙයා සයිකලෙන් වැටිලා මුණ තුවාල වෙලා. බීලා සයිකල් පැදගෙන යද්දී තමයි වැටිලා තියෙන්නේ. මම මේ එයාව අපේ ගෙදර එක්කරගෙන යන ගමන්. මේ යාලුවා ආවේ එයාගේ තනියට”
තරුණයන් දෙදෙනා සමඟ ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ සිටි කාන්තාව එලෙස පැවසුවද ඇයගේ ප්‍රකාශය සත්‍ය බව තහවුරු වුයේ නැත. ඒ... සැකසහිත පුද්ගලයන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරිම් වලදී ලබාදුන් උත්තර පැහැදිලි නොවීම නිසාය.
එබැවින්..... පොලිසිය මේ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගන්නේ රම්සියා ඝාතනය සැකපිටය.
රම්සියා මරා දමා තිබුණේ හිසට පොල්ලකින් පහරදීමෙනි. ඇයගේ මළ සිරුර අසල තිබී එම පොල්ල පොලිසිය විසින් සොයාගත්තේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගේ ඇඳුම්වල රුධිරය තැවරී තිබු අයගේ ඇඳුම් ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා යොමු කෙරුණේ අධිකරණ නියෝග මතය. සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කළ නමුත් වෙනත් සැකකරුවන් ඇත්දැයි සොයා පොලිසිය දිගටම මෙහෙයුම් වල නිරතව සිටී.
රම්සියා මේ ඝාතනය පිළිබඳ පොලිසියට සැක කාරණා බොහෝය. එලෙසම ගැටලු ද රැසකි. පළමු ගැටලුව වන්නේ ගැබිනියක වූ ඇය මෙලෙස ඝාතනය කළේ ඇයි ද යන්නයි.
උදේ වරුවේ ඇය තනිව නිවෙසේ සිටියදී සොරකමට පැමිණි පුද්ගලයකු ඇය මරා දැම්මාද? එහෙත්.... නිවෙසේ බඩු මුට්ටු සොරාගත් බවත් පෙනෙන්නට තිබුණේ නැත. එසේනම් ඇය මරා දැමුවේ පෞද්ගලික පළිගැනීමකට ද යන සැකය මතුව ඇතත් මේ ආකාරයෙන් පළිගැනීමට තරම් ඇය කළ වරද කුමක්ද?
දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින දෙදෙනා මෙම ඝාතනය කළ බවට සැකකළ ද ඔවුන් එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
කයිටිස් පොලිසියේ වැඩ බලන මුලස්ථාන පොලිස් පරීක්ෂක අයි. කේ.ඩී. එම්. සිරිවර්ධන ගේ උපදෙස් හා මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සිල්වා ඇතුලු කණ්ඩායමත් පරීක්ෂණ වල නිතරව සිටී.