ඒ අතරතුරයි ඉන්දියාවෙන් ළදරු පෝෂණ කර්මාන්තයම කැලඹී යන අසමසම තීරණයක් පිළිබඳව වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට, මාස 6 දක්වා වූ කුඩා ළදරුවන් සඳහා වන ආහාර නිෂ්පාදනවලට සුක්රෝස් සහ ෆ්රක්ටෝස් වැනි සීනි වර්ග එකතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඉන්දියානු ආහාර සුරක්ෂිතතා නියාමන අධිකාරිය විසින් විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
මීට පෙර පැවති නීතිරීතිවලට අනුව, ළදරු පෝෂණ නිෂ්පාදන සඳහා ප්‍රධාන කාබෝහයිඩ්රේට් ප්‍රභවයන් ලෙස ලැක්ටෝස් සහ ග්ලූකෝස් පොලිමර් භාවිතා කළ අතර, අවශ්‍ය අවස්ථාවලදී නියමිත සීමාවන්ට යටත්ව සුක්රෝස් සහ ෆ්රක්ටෝස් එකතු කිරීමට අවසර තිබුණි. නමුත් මෙම නව පියවර හරහා එම නීති දැඩි කිරීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ.
මෙම යෝජිත පියවරේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ළදරුවන් ඉතා කුඩා වියේදීම එකතු කළ සීනිවලට (Added sugars) නිරාවරණය වීම අවම කිරීම සහ අනාගතයේදී මතුවිය හැකි ළමා තරබාරුකම ඇතුළු සෞඛ්‍ය අවදානම්වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමයි.
'ලැන්සෙට්' (The Lancet) වෛද්‍ය සඟරාවේ පළවූ මෑතකාලීන අධ්‍යයනයකට අනුව, 2021 වන විට ඉන්දියාවේ අධික බර සහිත හෝ තරබාරු වැඩිහිටියන් මිලියන 180ක් සිටි අතර, මෙම තත්ත්වය පාලනය නොකළහොත් 2050 වන විට එම සංඛ්‍යාව මිලියන 450 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ වන විට ඉන්දියාව පුරා ආහාර සුරක්ෂිතතා පරීක්ෂණ සහ වැටලීම් අතිශයින් දැඩි කර ඇති අතර, ආහාර පැකට් මත අනතුරු ඇඟවීමේ ලේබල් ඇලවීමේ යෝජනාව නිසා ඩොලර් බිලියන 100කට වඩා වටිනා එරට පැකට් කළ ආහාර කර්මාන්තය ද දැඩි බලපෑමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.