හිරු නාලිකාවේ විකාශය වන හිතක මතක වැඩසටහන සමඟින් එක්වූ ඇය, නිවේදකයා විමසූ ප්‍රශ්න හමුවේ තමන්ගේ ජීවිතයේ මෙතෙක් බොහෝ දෙනෙක් නොදන්නා රහස් සහ සංවේදී මතකයන් රැසක් එකින් එක දිගහැරියා.
එංගලන්තයේදී තමන්ට මුල්වරට මලක් දුන් ජෝර්ජ් ගැනත්, අවුරුදු 19දී කළ මෝඩ වැඩේ ගැනත් නිවේදකයා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් සෙනාලි පැවසුවේ ඒ වයසේදී ආදරය කියන වචනයේ තේරුමවත් නොදැන සිටි බවයි. එකල එංගලන්තයේ ජීවත් වූ සිංහල තරුණයෙකුට තමන්ගේ සිතේ මුල්වරට ආදරයක් ඇති වූ බවත්, ඒ ගැන ඇය මුලින්ම පැවසුවේ තම මවට බවත් ඇය සිහිපත් කළා. ඔහු තමන් පෙම් කරන බව දැන සිටියද එය ප්‍රේම සම්බන්ධතාවක් දක්වා නොගිය බවත්, කවුරුන් හෝ තමන්ගේ පළමු ආදරය ගැන ඇසුවහොත් මතක් කරන්නේ එම සුන්දර අත්දැකීම බවත් ඇය සිනහමුසු මුහුණින් හෙළි කළා.
එංගලන්තයේ සිටියදී සිංහල කෙනෙකු පමණක් විවාහ කරගත යුතු බවට දෙමාපියන් නීති රීති පැනවූවාදැයි විමසූ ප්‍රශ්නයට ඇය කියා සිටියේ තම නිවසේ එවැනි කිසිදු නීතියක් නොතිබූ බවයි. තම පියා වූ උපාලි ෆොන්සේකා සහ මව වූ සේනානි ෆොන්සේකා අතර තිබුණේ අලුත විවාහ වූ පෙම්වතුන් වැනි පුදුමාකාර ආදරයක් බව සිහිපත් කළ ඇය, සෙනාලි යන නම නිර්මාණය වී ඇත්තේද දෙමාපියන් දෙදෙනාගේ නම් එකතු වීමෙන් බව පැවසුවා. "හොයාගන්නවා නම් ඔයාට ඇත්තටම ආදරය කරන, ඔයාව බලාගන්නා, රැකවරණය දෙන මනුස්සයෙක්ව හොයාගන්න" යැයි මව නිතර උපදෙස් දුන් ආකාරයත් ඇය මෙහිදී ආදරයෙන් සිහිපත් කළා.
තමන් තවමත් බලාපොරොත්තු වන්නේ තම පියා වැනි කෙනෙක්දැයි නිවේදකයා කළ විමසීමේදී සෙනාලි සිනාසෙමින් කියා සිටියේ, තමන් තවමත් හොයන්නේ තාත්තා වගේ තමන්ට ආදරයෙන් රැකවරණය දෙන සහ අම්මා වගේ තමන්ව බලාගන්නා කෙනෙක් බවයි. පෙම්වතෙකු තෝරාගැනීමේදී ලොකු සුදුසුකම් ලැයිස්තුවක් නොමැති වුවත්, තමන් උස සපත්තු පළඳින විට ගැළපෙන පරිදි තමන්ට වඩා තරමක් හෝ උස, රැවුල සහිත පිරිමි පෙනුමක් ඇති කෙනෙකුට තමන් කැමති බව ඇය හෙළි කළා. එසේම දෙමාපියන් ජීවිතය බිංදුවේ සිට ගොඩනැගූ ආකාරය තමන් දැක ඇති බැවින් සල්ලි හදවතට වඩා ලොකු නැති බවද ඇය අවධාරණය කළා.
වැඩසටහන අවසානයේදී ෂාරුක් ඛාන්ගේ "Bholi Si Surat" ගීතය තෝරාගැනීමට හේතුව නිවේදකයා ඇසූ විට, ඇය කියා සිටියේ ෂාරුක් ඛාන්ගේ පෞරුෂයට තමන් අතිශය ප්‍රිය කරන බවයි. පිරිමි ළමයෙකු තමන් බලාපොරොත්තු වන අහිංසක, සරල යුවතියක් ගැන කියැවෙන එම ගීතයේ අරුතට තමන්ද අනාගතයේදී හෝ ගැළපෙනවා දකින්නට කැමති බව පවසමින් සෙනාලි හිරු හිතක මතක සමඟ කළ සුන්දර කතාබහ නිමා කළා.