සමාජ මාධ්‍යයේ හැමෝම මේ ආදරණීය කැදැල්ලට සුබ පතද්දී, විවාහයෙන් පස්සේ චතුරංග තමන්ගේ ජීවිතය ගැන සහ මංගල දිනයේ හිතට දැනුණු බර ගැන අතිශය සංවේදී හෙළිදරව්වක් කරලා තියෙනවා.
"අම්මාගේ ලොකුම හීනය වුණේ මම බඳින එක..."
තමන් පවුලේ එකම දරුවා බව සිහිපත් කළ චතුරංග, වයස අවුරුදු 16දී පියා අහිමි වීමත්, මීට වසර පහකට පමණ පෙර මව අහිමි වීමත් නිසා ජීවිතයේ තනිවුණු ආකාරය පවසන්නේ දැඩි හැඟීම්බරවයි.
"අම්මාට තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි එයා නැති කාලෙක මම කොහොමද ජීවත්වෙන්නේ කියන එක. එයාගේ එකම හීනය මම හොඳ තැනකින් කසාද බැඳලා හොඳට ජීවත්වෙන එක තමයි. මාව මේ තත්ත්වයට ගෙනාවට අම්මටයි තාත්තටයි ගොඩක් පින්. මට හිතෙන්නේ ඒ දෙන්නා අදටත් ජීවත් වෙනවා කියලා. හැබැයි මම වෙඩින් එක දවසේ ගොඩක් සංවේදී වුණා... ඒ දෙන්නා හිටියා නම් කියලා හිතුණා. ඒ අඩුව දුෂේනි පුරවයි කියලා මට හිතෙනවා."
තමන්ගේ අතීතය සහ ජීවිතයේ ලැබූ පන්නරය ගැන කතා කළ ඔහු, ජීවිතයේ හැලහැප්පීම්වලට මුහුණ දුන් ආකාරය ගැන අපූරු උපමාවක් ගෙනහැර දැක්වූවා. ජීවිතය හරියට මැරතන් තරගයක් වැනි බවත්, ඕනෑවට වඩා වේගයෙන් දුවන්න ගියොත් මහන්සි වී නතර වන බවත්, සෙමින් දිවුවහොත් පරාද වන නිසා ජීවිතය නිසි සමබරතාවයකින් පවත්වාගත යුතු බවත් ඔහු සිහිපත් කළා.
"පයින් ගිහින් පුෂ් බයිසිකලෙන් කාර් එකට ආපු ගමනක් මේක..."
සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලකින් පැමිණි තමන්, කිසිදා මුල අමතක නොකරන සාමාන්‍ය මනුස්සයෙක් ලෙස ජීවත් වන බව චතුරංග අවධාරණය කළා:
"පොඩි කාලේ පයින්, බස් එකේ ඉස්කෝලේ ගිහිල්ලා... පුෂ් සයිකලෙන් මෝටර් බයිසිකලයට මාරුවෙලා, ඒකෙන් කාර් එකට මාරුවෙලා තමයි මේ ගමන ආවේ. අපි කොහොමත් මුල මතක තියාගන්න ඕනෑ. උඩට යන්න යන්න පල්ලෙහා ගැනත් හිතන්න ඕනෑ. මම ගොඩක් බෞද්ධ දර්ශනයත් එක්ක ජීවත්වෙන කෙනෙක්."
ලංකාවේ බොහෝ මව්වරුන් තමන් දෙස බලන්නේ තමන්ගේම පුතෙකු දෙස බලන ආදරයෙන් බවත්, එම ආදරය තමන්ට මහත් ශක්තියක් බවත් පවසන චතුරංග, දුෂේනි සමඟින් තමන්ගේ අභිමතය පරිදි ලස්සනට මංගල දිනය සැමරීමට ලැබීම පිළිබඳව සතුට පළ කර සිටිනවා.