ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේක තනපට ගලවලා දාලා නිදහසේ ඉන්න හෝ තනපට ඇන්දොත් පියයුරු පිළිකා හැදෙනවා කියන බයට සමරන දවසක් කියලා. හැබැයි ඇත්ත කතාව නම් ඊට වඩා සපුරා වෙනස්!
සමාජ මාධ්‍ය කැළඹූ මේ "No Bra Day" පිටුපස ඇති සැබෑ වෛද්‍ය විද්‍යාත්මක පසුබිම සහ පියයුරු පිළිකාව ගැන ඔබ නොදන්නා රහස් කිහිපයක් මෙන්න.
2011 වසරේදී පියයුරු පිළිකා නිසා පියයුරු ඉවත් කළ කාන්තාවන්ට ප්ලාස්ටික් සැත්කම් මගින් ඒවා නැවත සකස් කරගැනීම පිළිබඳ දැනුවත් කරන්න වෛද්‍යවරයෙක් විසින් ‘Breast Reconstruction Awareness Day’ හෙවත් B.R.A Day නමින් දිනයක් යෝජනා කළා. පසුකාලීනව සමාජ මාධ්‍ය හරහා මේක "No Bra Day" විදිහට ජනප්‍රිය වුණත්, මෙතැනදී ඇත්තටම අදහස් වෙන්නේ තනපට ගැලවීම නෙවෙයි; පියයුරු පිළිකාව ගැන ලෝකයම දැනුවත් කරලා, තමන්ගේ ශරීරය ගැන අවධානයෙන් ඉන්න කාන්තාවන්ව දිරිමත් කිරීමයි.
අනිත් ලොකුම මිථ්‍යාව තමයි තනපට (Bra) ඇන්දොත් පියයුරු පිළිකා හැදෙනවා කියන එක. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ නිතිපතා තනපට පැලඳීම නිසා පියයුරු පිළිකා හැදෙන බවට කිසිදු විද්‍යාත්මක සාධකයක් මෙතෙක් හමුවී නැති බවයි!
පිළිකාවක් එක වරක් ඉවත් කළාට පස්සේ ඒක සදහටම ඉවරයි කියලා හිතන අයට හොඳම පාඩමක් තමයි කුසුමාවතීගේ කතාව. 2019 දී එක් පියයුරක් ඉවත් කළත්, 2021 දී එම කැළලෙන්ම නැවත පිළිකාව මතු වෙලා තිබුණා (Cancer Recurrence). ඒ මදිවට නොසිතූ මොහොතක ඇගේ අනෙක් පියයුරේත් අලුතින්ම පිළිකාවක් හටගෙන. කලින් පිළිකාව ආපු අයට වගේම පවුලේ ඉතිහාසයේ පිළිකා රෝගීන් සිටීමත් මේ අවදානම දෙගුණ තෙගුණ කරන්නක්.
කවුද වැඩිපුරම අවදානමේ ඉන්නේ?
වයස අවුරුදු 50 ඉක්මවූ අය
කිසිදා දරුවන් නොලද හෝ වයස අවුරුදු 30න් පසුව පළමු දරුවා බිහිකළ කාන්තාවන්
පමණට වඩා ස්ථුලතාවය (මහත් වීම) සහ ව්‍යායාම නොමැති කම්මැලි ජීවන රටාව
නිතර කෘත්‍රිම කෑම බීම ගැනීම, මත්පැන් හා දුම්වැටි භාවිතය
උපත් පාලන පෙති වැනි ඊස්ට්‍රජන් හා ප්රොජෙස්ට්රෝන් හෝර්මෝන නිතර ශරීරගත වීම
අතට අහුවෙන ගැටිති විතරක් නෙවෙයි, මේ ලක්ෂණත් භයානකයි!
පියයුරේ කුඩා ගැටිත්තක් අතට හසුවීම ප්‍රධානම ලක්ෂණය වුණත්, බොහෝ දෙනෙක් නොදන්න තවත් රෝග ලක්ෂණ රැසක් තියෙනවා:
පියයුර හෝ එහි කොටසක් ඉදිමීම
පියයුරේ සම දොඩම් ලෙල්ලක් වගේ ඇතුළට නෙරා ගොස් වළගැසීම
සම රතු වීම සහ තන පුඩුව ඇතුළට ගිලා බැසීම
තන පුඩුවෙන් අසාමාන්‍ය ලෙස ශ්‍රාවයන් පිටවීම සහ දැඩි වේදනාව
වයස 30 සම්පූර්ණ වූ ඕනෑම කාන්තාවක් කණ්ණාඩියක් ඉදිරියට ගොස් තමන්ගේ පියයුරු නිරීක්ෂණය කර අතින් ස්පර්ශ කර බලා (මර්ෂණය) ස්වයං පරීක්ෂාවක් කර ගැනීම අත්‍යවශ්‍යයි. යම් වෙනසක් දුටුවහොත් නාරාහේන්පිට පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්‍යස්ථානයෙන් හෝ දිවයින පුරා රෝහල්වල පිහිටි Breast Clinics 26 න් නොමිලේම පරීක්ෂා කරගත හැකියි.
බටහිර වෛද්‍ය ප්‍රතිකාර එක්කම අපේ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම එකතු කරගෙන පිළිකාවට සාර්ථකව ප්‍රතිකාර කරන්න පුළුවන්. ලෝකයේ පිළිකා ඖෂධවලින් සියයට පනහකට වඩා නිපදවන්නේ ශාකසාරවලින්.
හිතුමතේ ටීවී එකේ යන වෙළඳ දැන්වීම්වලින් බෙහෙත් බොන්නේ නැතුව, නියම වෛද්‍ය උපදෙස් මත කෑම පාලනය කිරීම ඉතාම වැදගත්. අපේ මුළුතැන්ගෙයි තියෙන කහ, නෙල්ලි, සුදුලූනු, නාරං, කරවිල ඇට, අනෝදා, හණ ඇට, දෙලුම් සහ කොළ තේ (Green Tea) වල තියෙන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයට පිළිකා සෛල අඩපණ කර නව සෛල හැදීම පාලනය කරන්න පුළුවන් බව විද්‍යාත්මකවම සනාථ කරලා තියෙනවා.