මෙලෙස අකාලයේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බණ්ඩාරගම, කළුතර පාරේ ගල්තුඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි තිදරු මවක් වන ජී.ටී. රමණී ප්‍රේමලතා නමැති මහත්මියයි.
පොලිසිය සඳහන් කළ පරිදි, මියගිය ඇය ඊයේ (10) අලුයම 5.30ට පමණ සුපුරුදු පරිදි සිය සේවාස්ථානය වෙත යාම සඳහා නිවස ඉදිරිපිට පිහිටි බස් නැවතුම්පළට පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේදී පැමිණි බස් රථයට ගොඩවීම සඳහා ඇය මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. බස් රථයට යටවී බරපතල තුවාල ලැබූ ඇය වහාම බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කරලා තියෙනවා. අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත මාරු කර යැවීමෙන් පසු, ශල්‍යාගාරයේදී ඇය මෙලෙස ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වන්නේ...
අනතුරට සම්බන්ධ කැස්බෑව ඩිපෝවට අයත් බස් රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා. බණ්ඩාරගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.
මෙම ඛේදනීය සිදුවීමත් සමඟ මියගිය කාන්තාවගේ සැමියා වන එල්.සී. නානායක්කාර මහතා රෝහල් බලධාරීන් හමුවේ බරපතල චෝදනාවක් එල්ල කරනවා.
සිය ආදරණීය බිරිඳගේ මළසිරුර රෝහලෙන් මුදාගැනීමේ කටයුතු සඳහා ගිය අවස්ථාවේදී, අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය පවසා ඇත්තේ "තම දරුවා අමතර පන්තියෙන් රැගෙන යාමට තිබෙන බව" පවසමින් එම කටයුතු සිදුකිරීම ප්‍රතික්ෂේප කළ බවයි.
වසර 38ක් පුරා රට වෙනුවෙන් සෞඛ්‍ය සේවයේ නිරත වූ සිය බිරිඳට මරණින් පසුත් මෙවැනි අසාධාරණයක් සිදුවන්නේ නම්, සාමාන්‍ය ජනතාවට අත්වන ඉරණම කුමක්දැයි ඔහු දැඩි වේදනාවෙන් යුතුව ප්‍රශ්න කරනවා. මෙම අසාධාරණයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහාය පැතීමට තමාට සිදුවූ බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.