ඒ අන් කවරෙකුගෙවත් නොව, ප්රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන්ගේ ආදරණීය පියාණන් වූ රත්නායක ආරච්චිලාගේ දොන් ජේම්ස් මහතාගේ කතාවයි.
එය අතීතයේ දිනක සිදු වූ සුළු සිදුවීමකින් ඇරඹුණු කතාවකි. අසල්වැසි නිවසක පැවති උත්සවයකදී, කුඩා වික්ටර් රත්නායකයන් එතැන තිබූ සර්පිනාවකට අත තැබුවේ සංගීතයට තිබූ ආසාව නිසාමය. එහෙත් එහි හිමිකරුගෙන් කුඩා පොඩි පුතාට හිමිවූයේ හිසට වැටුණු තද ටොක්කකි. දරුවා හැඬූ කඳුළින් නිවසට ආවත්, ඒ කඳුළු දෙස බලා නිහඬව සිටීමට ඒ පියාට හැකි වූයේ නැත.
තම මාසික වැටුපටත් වඩා වැඩි මුදලක් වැය කරමින්, අතමාරුවක් පවා අරගෙන, ඊළඟ දිනයේදීම එදා ටොකු පාර වැදුණු තැන තිබූ වර්ගයේම අලුත්ම සර්පිනාවක් තම පොඩි පුතා හමුවට ගෙනත් තැබීමට තරම් ඒ පියා උත්සුක විය.
පසුව, එම්. ජී. පී. කලායතනයේ අධිපති සිරිල් පෙරේරා මහතා විසින් සර්පිනාව යනු ප්රායෝගික විභාග සඳහා සුදුසු එකම භාණ්ඩය නොවන බව පැහැදිලි කළ විට, ඒ පියා පසුබට වූයේ නැත. එදා රුපියල් 112 ක අතිවිශාල මුදලක් වැය කර, ජර්මනියේ නිෂ්පාදිත වටිනා වයලීනයක් ගෙනැවිත් තම පුතුගේ අත තැබුවේ ඒ ආදරණීය තාත්තාමය.
නමුත් ඒ මොහොතේ ඔහු නොදැන සිටි අතිශය වැදගත් දෙයක් තිබුණි. එනම්, ඔහු එදා තම පුතුගේ අත තැබුවේ සර්පිනාවක් හෝ වයලීනයක් පමණක් නොව, ඉදිරි දශක ගණනාවක් පුරා ශ්රී ලාංකේය සංගීත ක්ෂේත්රය වෙනස් කිරීමට නියමිතව තිබූ දැවැන්ත සංගීත පරිච්ඡේදයක අත්තිවාරම බවයි.
තම දරුවෙකු සංගීතකාරයෙකු වෙනවාට පවා සමාජය අකමැත්තෙන් බැලූ යුගයක, තම පොඩි පුතාගේ ඇස්වල තිබූ සංගීත සිහිනය අසීමිතව විශ්වාස කළ ඒ පියා, නොදැනුවත්වම සමස්ත ජාතියටම දායාද කළේ වික්ටර් රත්නායක නම් වූ අසමසම සංගීත වේදියාය.
එදා ඒ පියා තුළ තිබූ නොසැලෙන විශ්වාසයත්, දරුවා වෙනුවෙන් කළ කැපකිරීමත් නොවන්නට, අද අපේ ශ්රව්ය පරාසය අර්ථවත් කළ 'වික්ටර් රත්නායක' නම් අසහාය කලාකරුවා අපට අහිමි වී යාමට පවා ඉඩ තිබිණි.
වික්ටර් රත්නායකගේ මුහුණු පොතේ තැබූ සටහනක් ඇසුරෙන්....