පාසල් පොතේ පාඩම් විතරක් නෙමෙයි, ජීවිතය ජයගන්නා හැටි කියාදෙන ගුරුවරයා කියන්නේ අපේ ජීවිතවල ඉන්න තවත් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, එහෙමත් නැත්නම් හොඳම යහළුවෙක්.
නමුත් අද අපි මේ කියන්න යන්නේ ජීවිතය කියාදීමටත් එහා ගිහින්, තම ලෙයින් උපන් දරුවෙකු නොවන තවත් අහිංසක සිසුවියකගේ ජීවිතය රැකදෙන්න තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවූ අභීත ගුරු පියෙකුගේ අතිශය සංවේදී පුවතක් ගැනයි.
සිය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවෙන ගුරු මව්පියන් අතර, දේවත්වයෙන් සැලකිය යුතු සැබෑ දිසාපාමොක්වරයෙකු පිළිබඳ මෙම ශෝකජනක පුවත වාර්තා වන්නේ පසුගිය මැයි මස 26 වැනිදායි.
මොනරාගල, බඩල්කුඹුර, වයිකුඹුර ඥාන මුදල්වා විද්‍යාලයේ සිසු සිසුවියන් සහ ගුරු මණ්ඩලය එකතුවෙලා සංවිධානය කරලා තිබුණු වාර්ෂික පාසල් චාරිකාවට නගුර පිච්චෙයි මොහමදු නම් ඒ ආදරණීය ගුරුතුමාත් එකතු වෙන්නේ හරිම සතුටින්. චාරිකාව අතරතුරදී ඔවුන් කිරින්ද මුහුදු තීරය නැරඹීමට පැමිණි අතර, සිසුන් සහ ගුරුවරුන් කිහිපදෙනෙකුම මුහුදේ දිය නෑමට ද එක්ව තිබෙනවා.
නමුත් ඒ සතුට වැඩිවේලාවක් පවතින්න ඉඩ ලැබුණේ නැහැ. දිය නාමින් සිටි පිරිස අතරින් එක් අහිංසක සිසුවියක් එකවරම සැඩ දියවැලකට හසුවී ගැඹුරු මුහුද දෙසට ඇදී යන්නට පටන්ගෙන තිබෙනවා...
තමන්ගේ ඇස් පනාපිටම අසරණව ගසාගෙන යන සිසුවිය දුටු මොහමදු ගුරුතුමා, තමන්ගේ ජීවිතය ගැන එක තත්පරයක්වත් හිතන්නේ නැතුව, ඇයව බේරාගැනීමේ එකම අරමුණින් සැඩ රළ පරයා මුහුදට පැනලා තියෙනවා.
නමුත් අවාසනාවකට මෙන්, මහත් වෙහෙසක් දරා ඇයව බේරාගැනීමට ගත් ඒ වීරෝදාර උත්සාහය පරාජය කරමින්, සිසුවිය මෙන්ම මොහමදු ගුරුතුමාද සැඩ පහරට හසුවී ගැඹුරු මුහුදට ගසාගෙන ගොස් තිබුණා.
සිද්ධිය දුටු වහාම ක්‍රියාත්මක වූ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් යොදවා දෙදෙනාම ගොඩට ගෙන තිස්සමහාරාමය මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළත්... මුළු පාසලම, මුළු රටම කඳුළින් බර කරමින් ඒ ආදරණීය ගුරු පියාණන් සියලුදෙනාගෙන්ම සමුගෙන තිබුණා. පාසල් චාරිකාවේ සතුට කෙළවර වූයේ මුළු මහත් රටක්ම හඬවමින්.
මොහමදු ගුරුතුමාගේ පවුලේ අයට ආදරණීය සැමියෙකු, පුතෙකු අහිමි වී ගියත්, තමන්ගේ ජීවිතය පරදුවට තබා සිසුවියකගේ දිවි රැකගත් ඒ ශ්‍රේෂ්ඨ ගුරු පියාණන් වෙනුවෙන් රටක් වටිනා අභිමානයක් සදාකාලිකවම ශේෂ වන බව නම් නොඅනුමානයි...