ඒ අනුව, එම සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ සිසුන් 11 දෙනෙකුගේ ලියාපදිංචිය ස්ථිරවම අහෝසි කරමින් ඔවුන්ව විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට පාලක සභාව තීරණය කර ඇත.
මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි චරිත් දිලීෂාන් නමැති සිසුවායි.
පසුගිය 2025 වසරේ අප්‍රේල් මස 29 වැනිදා ඔහු සිය නිවස තුළදීම ගෙලවැලලාගෙන සියදිවි නසාගත්තේ මුළු රටක්ම කම්පනයට පත් කරමිනි. විශ්වවිද්‍යාලය තුළින් එල්ල වූ දැඩි ශාරීරික හිංසනය සහ මානසික පීඩනය දරාගත නොහැකිව තම පුත්‍රයා මෙම ඛේදනීය තීරණය ගත් බව එදා ඔහුගේ මව්පියන් හඬා වැටෙමින් ප්‍රකාශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදු කළ විශේෂ පරීක්ෂණවලින් අනතුරුව, නවක වදයට සම්බන්ධ වූ බව කියන සිසුන් 14 දෙනෙකුව අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබුවා. මියගිය චරිත්ට සහ තවත් සිසුන්ට බරපතල ලෙස හිරිහැර කිරීම සම්බන්ධයෙන් වූ නිල පරීක්ෂණ වාර්තාව විශ්වවිද්‍යාල පාලක සභාව විසින් පසුගිය සතියේ නිකුත් කිරීමෙන් පසුවයි මෙම දැඩි ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ.
විශ්වවිද්‍යාලයෙන් නෙරපා හරින ලද මෙම සිසුන් 11 දෙනාට අභ්‍යන්තර ශිෂ්‍යයකුට හිමි කිසිදු වරප්‍රසාදයක් මින් ඉදිරියට හිමිවන්නේ නැහැ. එපමණක් නොව, උපකුලපතිවරයාගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව විශ්වවිද්‍යාල භූමියට, නේවාසිකාගාරවලට හෝ විශ්වවිද්‍යාලයට අයත් කිසිදු දේපලකට පය තැබීම ද ඔවුන්ට සපුරාම තහනම් කර තිබෙනවා.
අනුන්ගේ දරුවෙකුට දුන් මානසික සහ ශාරීරික වද බන්ධන හේතුවෙන්, අන්තිමේදී තමන්ගේම අධ්‍යාපනයත් අනාගතයත් අඳුරු කරගන්නට මෙම සිසුන්ට සිදුවී ඇත. මෙය නම් රටේම විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වන ම්ලේච්ඡ නවකවදයට තිත තැබීමට කදිම ආදර්ශයක් වනු නිසැකයි!