මේ දරාගන්න බැරි ජීවන වියදම නිසා ලංකාවේ පවුල්වලට අලුතින් එකතු වෙන දරු පැටව් ගාණත් සෑහෙන දුරට අඩුවෙලා කියලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විධායක කමිටු සාමාජික දුමින්ද නාගමුව මහත්තයා ඊයේ (05) ප්රකාශ කළා.
ඔහු කියන විදිහට මේ ආර්ථික අර්බුදය නිසාම ලංකාවේ ළමා ජනගහනය ලක්ෂයකින් පමණ අඩුවෙලා. "මිනිස්සුන්ට දැන් දරුවෝ හදන්න බයයි, දරුවෙක්ට වියදම් කරන්න වත්කමක් නෑ. එදා කාන්තාවන්ව වඳ කරනවා කියලා කෑගහපු අය අද මේ ගැන මුකුත් නොකියා නිශ්ශබ්ද වෙලා" කියලයි ඔහු එහිදී මතක් කළේ.
මේ ආර්ථික ප්රශ්න නිසා පවුල් ඇතුළේ රණ්ඩු සරුවල් වැඩිවෙලා, මිනිස්සුන්ට අපරාධ වලට යොමු වෙන්න සිද්ධ වෙලා කියලත් ඔහු පෙන්වා දෙනවා. බදු බර ගැන කතා කරමින් ඔහු කිව්වේ බිත්තරේකටත් රුපියල් 11ක බද්දක්, සනීපාරක්ෂක තුවා වලට 20%ක බද්දක් ගහලා කියලා.
ඒ මදිවට දැන් බල්ලන්ව ලියාපදිංචි කරන්න අලුත් නීතියක් ගේන්න හදනවලු! දුමින්ද නාගමුව කියන විදිහට ආණ්ඩුව මේ හදන්නේ ඒ නීතියට මුවා වෙලා බල්ලන්ගෙනුත් බදු මුදලක් අය කරගන්නයි.
වත්මන් ආණ්ඩුවත් කරන්නේ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සහ IMF එක ගෙනාපු ආර්ථික ප්රතිපත්තියම දිගටම ක්රියාත්මක කරන එක කියලත් ඔහු චෝදනා කළා.
ඒ වගේම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ 'අරගල සන්ධානයේ' ක්රියාකාරීන් හය දෙනෙක්ව අත්අඩංගුවට ගැනීම ගැනත් අදහස් දක්වමින් ඔහු කිව්වේ, අලුත් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ උද්ඝෝෂණත් ත්රස්තවාදී ක්රියා විදිහට අර්ථකථනය කරලා ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ආණ්ඩුව සැලසුම් කරමින් ඉන්නවා කියලයි.