සාමාන්‍ය වයිරස් උණක් කියලා හිතාගෙන ගෙදරට වෙලා හිටියට, මේ දවස්වල පැතිරෙන උණ රෝගය ඩෙංගු ද, එහෙමත් නැත්නම් චිකුන්ගුන්යා ද කියලා බැලූ බැල්මට හොයාගන්න බැරි තරමටම රෝග ලක්ෂණ සමාන වෙලා! මේ රෝග දෙකම බෝ කරන්නේ එකම මදුරු පරම්පරාවකින් (ඊඩිස් ඊජිප්ටයිල් සහ ඊඩිස් ඇල්පොපික්ටස්). එකම මදුරුවාගෙන් එන මේ මාරාන්තික "ඩබල් ගේම" ගැන ළමා රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි විජේසිංහ මහත්මිය කරුණු හෙළිකරලා තියෙනවා.
මුල් දවස්වලදී මේ ලෙඩ දෙකම එන්නේ එකම විදියට. තද උණ, ඇඟපත වේදනාව, වමනය, ඔක්කාරය, හිසරදය වගේම ඇඟේ රතු පාට ලප මතුවෙන එක මේ දෙකටම පොදුයි. දරුවෙක්ට නම් කිරි බොන්නේ නැතුව එක දිගට අඬන, මලානික වෙන තත්ත්වයක් දකින්න පුළුවන්. හැබැයි දවස් කිහිපයක් යද්දී මේ රෝග දෙකේ ඇත්තම ස්වරූපය එළියට එනවා.
චිකුන්ගුන්යා හැදුණොත් හන්දිවල සහ ඇඟේ මස්පිඬුවල දරාගන්න බැරි වේදනාවක් එනවා. ඇඟ පුරාම රතු පාට පලු මතුවෙලා, දවස් ගාණක් යද්දී ඒවා කළු වෙලා කසන්න ගන්නවා. සමහර වෙලාවට නහය පවා අධික විදියට රතු වෙනවා. අතපය පණ නැති වෙලා එදිනෙදා වැඩක්වත් කරගන්න බැරි තත්ත්වයකට රෝගියාව ඇදලා දානවා. මුලදී මාරාන්තික නැති වුණත් සංකූලතා වැඩියි.
ඩෙංගු රෝගයේදී චිකුන්ගුන්යා වගේ දිගුකාලීන ලක්ෂණ නැති වුණත්, මේක ඇතුළෙන් ගහන මාරාන්තික ගේමක්. රක්තපාත තත්ත්වය සහ කම්පන තත්ත්වය (Shock) මුලදීම අඳුරගත්තේ නැත්නම් කෙළවර වෙන්නේ මරණයෙන්!
දවස් දෙකකට වඩා තද උණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලේ පරීක්ෂාවක් කළ යුතුමයි. ඩෙංගු වලදී රුධිර පට්ටිකා සහ සුදු රුධිරාණු අඩු වෙනවා. උණ හැදිලා දවස් 3ක් ගියාට පස්සේ කරන ප්‍රතිදේහ පරීක්ෂණ මගින් මේ රෝග දෙක නිවැරදිවම වෙන්කරලා අඳුරගන්න පුළුවන්.
මෙන්න මේක තමයි වැදගත්ම කාරණාව! ඇඟපත රිදෙනවා කියලා හිතුමතේට වේදනා නාශක බොන්න එපා. විශේෂයෙන්ම Diclofenac, Ibuprofen, Indomethacin, Aspirin වගේ ඖෂධ මේ දවස්වල පාවිච්චි කිරීම සම්පූර්ණයෙන්ම තහනම්! මේවා බිව්වොත් රක්තපාත තත්ත්වය (ලේ ගැලීම්) වැඩි වෙලා රෝගියාගේ ජීවිතය අනතුරේ වැටෙනවා.
උණට සහ වේදනාවට පාවිච්චි කරන්න පුළුවන් එකම ඖෂධය "පැරසිටමෝල්" විතරයි. හැබැයි ඒකත් නියමිත මාත්‍රාවට වඩා බිව්වොත් අක්මාව නරක් වෙන්න පුළුවන්. ඒ නිසා විජලනයෙන් බේරෙන්න පලතුරු යුෂ, ජීවනී, කැඳ, සුප් වගේ දියර වර්ග ගොඩක් බොන ගමන්, නිසි විවේකය ලබාගන්න එක තමයි මේ දවස්වල කරන්න පුළුවන් හොඳම දේ!