දෙරට අතර පවතින විශේෂ උපායමාර්ගික සබඳතාවල ප්‍රගතිය සමාලෝචනය කිරීමටත්, මේ වන විට බටහිර ආසියානු කලාපයේ උද්ගතව ඇති තීරණාත්මක තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමටත් නායකයන් දෙපළ මෙහිදී පියවර ගත් බවයි ඉන්දීය අගමැති කාර්යාලය නිවේදනය කරන්නේ.
බටහිර ආසියාවේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම සහ කලාපීය වර්ධනයන් කෙරෙහි මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.
ඉන්දියා-ඊශ්‍රායල විශේෂ උපායමාර්ගික සබඳතාව යටතේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ නායකයන් දෙපළ, දෙරටේම අන්‍යෝන්‍ය යහපත උදෙසා විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ඇති කැපවීම නැවත තහවුරු කළ බව අගමැති කාර්යාලීය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
විශේෂයෙන්ම ආරක්ෂක, කෘෂිකර්ම, නවෝත්පාදන, තාක්ෂණ, ජල කළමනාකරණ, සයිබර් ආරක්ෂණ සහ වෙළඳ යන ක්ෂේත්‍රයන්හි ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර දැනටමත් සමීප සහයෝගීතාවක් පවතිනවා.
කලාපීය ආරක්ෂාව සහ රාජ්‍ය තාන්ත්‍රික වර්ධනයන් හේතුවෙන් සමස්ත බටහිර ආසියානු කලාපය කෙරෙහිම ලෝකයේ දැඩි අවධානයක් යොමු වී ඇති මොහොතක මෙම සාකච්ඡාව පැවැත්වීම විශේෂත්වයක්.
මෙම දුරකථන සංවාදයේ සංවේදී අභ්‍යන්තර තොරතුරු අගමැති කාර්යාලය විසින් සම්පූර්ණයෙන් අනාවරණය නොකළ ද, බටහිර ආසියාවේ නවතම තත්ත්වය පිළිබඳව දෙරටේම නායකයන් සිය දෘෂ්ටිකෝණයන් හුවමාරු කරගත් බව තහවුරු කර තිබෙනවා.