ඔස්ට්රේලියාවේ විශාලතම මංකොල්ලය සිදු කළ, වඩාත්ම කුප්රකට බැංකු කොල්ලකරුවා සහ බන්ධනාගාරයෙන් පලාගිය පුද්ගලයා වන බ්රෙන්ඩන් ඇබොට්, වසර 30ක සිරදඬුවම් විඳීමෙන් පසු දැන් නිදහස ලැබීමට සුදුසු බව ඔහු ගැන වසර ගණනාවක් අධ්යයනය කළ ලේඛකයෙකු ඉල්ලා සිටිනවා.
'Australian Outlaw' නමැති කෘතිය රචනා කළ ඒබ් මැඩිසන්, ඇබොට් සිය දඬුවම් කාලය අවසන් කර ඇති බවත් ඔහුට නිදහස ලබා දිය යුතු බවත් ප්රකාශ කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මැඩිසන් වසර ගණනාවක් තිස්සේ ඇබොට් සමඟ සබඳතා පවත්වා ගෙන යන අයෙක්.
ප්රකාශයක් කරමින් මැඩිසන් සඳහන් කළේ, ඔස්ට්රේලියාවේ විශාලතම මංකොල්ලය සිදු කළ බවට චෝදනා එල්ල වූ ඇබොට්, නිදහස් කළ යුතු බවයි.
වසර 30ක සිරදඬුවමක් විඳ ඔහුගේ සිරගත කාලයෙන් වසර 12ක්ම හුදකලා සිරදඬුවම් බව සඳහන්.
ඇබොට්ගේ කතාව හොලිවුඩ් චිත්රපටයක් මෙන් විස්මිත බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
ඔහු 1989 සහ 1998 අතර කාලය තුළ බැංකු 40ත් 50ත් අතර සංඛ්යාවක් කොල්ලකා තිබුණා.
තුන් වතාවක් බන්ධනාගාරයෙන් පලා ගොස් වසර ගණනාවක් පොලිසියෙන් සැඟවී සිටි ඔහු 1989 දී පර්ත්හි ෆ්රීමැන්ටල් බන්ධනාගාරයෙන් ඔහු පලා ගියේ ආරක්ෂක නිලධාරියෙකුගේ ව්යාජ නිල ඇඳුමක් මසාගෙන, තුවක්කු සහිත මුරගොලු මගහරිමින්.
ඇබොට් බැංකු සේවකයින්ට එරෙහිව කළ අපරාධ වෙනුවෙන් දශක ගණනාවක් සිරගතව සිටිය යුතු වුවත්, දැන් වසර 30ක් සෑහෙන බව මැඩිසන් පවසනවා.
ඇබොට්ට සිය පුත්රයා සමඟ කාලය ගත කිරීමට ඉඩ දිය යුතු බව ඔහු විශ්වාස කරනවා.
ඇබොට් පලාගිය අයෙකු ලෙස සිටි 1991 වසරේදී ඔහුගේ පුත් ජේම්ස් උපත ලැබූවා.
ඔහුගේ මුළු ජීවිත කාලය තුළම පියා සමඟ ගත කර ඇත්තේ පැය 30ක පමණ කාලයක් පමණයි.
ඇබොට්ගේ අපරාධ බරපතළ වුවද, ඉන් කිසිවෙකු මියගොස් හෝ තුවාල ලබා නොමැති බව මූලාශ්ර පෙන්වා දෙනවා.
දැනට 63 හැවිරිදි වියේ පසුවන ඇබොට්, පර්ත්හි කැසුරිනා බන්ධනාගාරයේ දැඩි ආරක්ෂාව යටතේ පසුවන අතර 2026 ඔක්තෝබර් මාසයේදී ඔහුට පොදු සමාව යටතේ නිදහස ලැබීමට සුදුසුකම් ලැබෙනවා.
මාධ්ය ඔහුව 'පෝස්ට්කාඩ් බැන්ඩිට්' ලෙස හැඳින්වූයේ ඔහු පලාගොස් සිටියදී සංචාරක ස්ථානවල සිට තමාගේම ඡායාරූප පොලිසියට එවන බවට පොලිසිය විසින් ප්රචාරය කළ කතාවක් නිසයි.
මැඩිසන් පවසන පරිදි ඇබොට් කිසි දිනෙක පොලිසියට තැපැල්පත් එවා නැහැ.
1989 පලායාමෙන් පසු ඇබොට් සහ ආරොන් රෙනෝල්ඩ්ස් නමැත්තෙකු මාස හයක් පුරා ඔස්ට්රේලියාව වටා සංචාරය කර තිබුණා.
එහිදී ඔවුන් මසාවෝ අයුඩා නමැති ජපන් සංචාරකයෙකු සමඟ එක්වූ අතර, තමන් යන අතරමගදී බැංකු කොල්ලකන බව ඇබොට් සහ රෙනෝල්ඩ්ස් ඔහුට දැන ගැනීමට ඉඩ තබා නැහැ.
පසුව සිදුවූ පොලිස් හඹා යාමකදී මොවුන්ගේ මෝටර් රථයෙන් පොලිසියට සොයාගත හැකි වූයේ ඡායාරූප සහිත ෆිල්ම් රෝල් එකකින්.
එම ඡායාරූපවල ඔවුන් විනෝදයෙන් සිටින අයුරු දුටු පොලිසිය, ඒවා ඇබොට් විසින් තම මිතුරන්ට යැවීමට සූදානම් කර තිබූ තැපැල්පත් බව පවසා ප්රසිද්ධ කළා.
ඇබොට් පලාගිය අයෙකු ලෙස වසර පහහමාරක් ගත කළ අතර, ඔහු ඉතා දක්ෂ ලෙස වේශ නිරූපණය සහ වෙස්වලා ගැනීම් භාවිත කරමින් මංකොල්ලකෑම් සැලසුම් කළ අයෙක්.
පර්ත්හි කොමන්වෙල්ත් බැංකුවෙන් ඩොලර් 300,000ත් 500,000ත් අතර මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් ඔහුට කිසිදා චෝදනා එල්ල නොවූවත්, ඔහු එය සිදු කළ බව පොලිසිය විශ්වාස කරනවා.
ඔහු එක් මංකොල්ලයක් සඳහා දින ගණනාවක් හෝ සති ගණනාවක් බැංකුව නිරීක්ෂණය කරමින් සූදානම් වූ බව මූලාශ්ර සඳහන් කරනවා.
ඔහු සෑම විටම මුහුණු ආවරණ පැළඳ සිටි නිසා ඔහු සම්බන්ධ වූ සැබෑ කොල්ලකෑම් ප්රමාණය නිශ්චිතවම පැවසිය නොහැකියි.
ඇබොට් සිය සගයන් කවුදැයි වසර 30ක් තිස්සේ හෙළි කර නොමැති වීම ද විශේෂත්වයක්.