ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවත් සමඟ චිත්‍රපටයේ අනාගතය තවදුරටත් අවිනිශ්චිත වී තිබෙනවා.
මුලින්ම මදුරාසි මහාධිකරණය මෙයට වාරණ සහතිකයක් දෙන්න කිව්වත්, පසුව එම අධිකරණයේම ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් එය අත්හිටෙව්වා. නිෂ්පාදකයන් මීට එරෙහිව රටේ ඉහළම අධිකරණයට ගියත්, ඔවුන් ප්‍රකාශ කළේ "මේ ප්‍රශ්නය ආයෙමත් මදුරාසි මහාධිකරණයෙන්ම විසඳගන්න" කියලයි. ඒ අනුව ලබන ජනවාරි 20 වැනිදා දක්වා තලපතිට බලා ඉන්න සිදුවෙනවා.
ඉන්දීය වාරණ මණ්ඩලය (CBFC) පවසන්නේ මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන නිසා ආගමික හැඟීම්වලට හානි වන බවයි.එසේම සන්නද්ධ හමුදාවන් වැරදි ලෙස නිරූපණය වන බවයි.
මේ චෝදනා නිසා චිත්‍රපටය නැවත සමාලෝචනය කරන්නට තීරණය කර තිබෙනවා. ජනවාරි 9 වැනිදා තිරගත වීමට තිබූ චිත්‍රපටය මෙලෙස නතර වීම නිසා නිෂ්පාදකයන්ට කෝටි ගණනක පාඩුවක් සිදුව ඇති බව ඔවුන්ගේ නීතිඥ මුකුල් රොහට්ගි අධිකරණය හමුවේ පවසා සිටියා.
H. විනෝත්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ ක්‍රියාදාම චිත්‍රපටය, විජේගේ දේශපාලන පක්ෂය වන 'තමිළග වෙට්රි කසාගම්' (TVK) ජනතාව අතරට ගෙන යාමට තිබූ ප්‍රබල අවියක් ලෙසයි බොහෝ දෙනා සැලකුවේ. නමුත් දැන් මේ සිදුවන අධිකරණ ක්‍රියාවලිය නිසා විජේගේ අවසන් සිනමා දැක්ම තිරයට ඒම තවත් ප්‍රමාද වෙමින් පවතිනවා.