මෙය හුදෙක් ආගමික උත්සවයකට වඩා ස්වභාවධර්මයට කෙරෙන උපහාරයක් ලෙසයි සැලකෙන්නේ.
ලොව පුරා විසිරී සිටින හින්දු බැතිමතුන් අද දින මහත් හරසරින් සමරන ප්‍රධානතම ආගමික මංගල්‍යය වන "තෛපොංගල්" උත්සවයෙන් මුළු මහත් ලෝකයම උත්සව ශ්‍රියාවෙන් ඇලලී ගොස් තිබෙනවා.
කෘෂිකාර්මික ජීවිතය සමඟ බද්ධ වූ ජනතාව, තමන්ගේ අස්වැන්න සරු කර ගැනීමට උපකාර කළ ස්වභාවධර්මයට කෘතවේදීත්වය පළ කිරීම මෙහි මූලිකම අරමුණයි.
තෛපොංගල් කියන්නේ නිකන්ම නිකන් උත්සවයක් නෙවෙයි. එහි සැඟවුණු සුවිශේෂී අර්ථයන් කිහිපයක්ම තියෙනවා...තමන්ගේ ගොවිතැනට ආලෝකය දුන් සූර්ය දිව්‍ය රාජයාට අලුත් අස්වැන්නෙන් පිසූ ප්‍රථම ආහාරය පූජා කිරීම මෙහි ප්‍රධානතම චාරිත්‍රයයි. ගොවිතැනට උදව් කළ ගවයින් ඇතුළු සතුන්ටත්, වර්ෂාවටත් ස්තූති කිරීම මේ හරහා සිදුවෙනවා.
අලුත් සහල් සහ කිරි එක් කර උතුරන තුරු පිසීම (පොංගල්) මගින් ඉදිරි වසර පුරාම සෞභාග්‍යය සහ සතුට ඉතිරී යනු ඇතැයි බැතිමතුන් විශ්වාස කරනවා.
මේ දිනවල හින්දු නිවෙස් ඉදිරිපිට අලංකාරව ඇඳි "කෝලම්" රටා සහ තොරණින් සැරසී තිබෙනු දැකිය හැකියි. අලුත් වස්ත්‍රවලින් සැරසුණු කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් ද "පොංගල්" ආහාරයෙන් රස බලමින් තම නෑදෑ හිතමිතුරන් සමඟ සතුට බෙදා ගන්නවා.