මෙරට සහල් ඉල්ලුමෙන් 5% සපයනු ලබන පොළොන්නරුව, ගල්ලෑල්ල සහල් සැකසුම් කලාපයේ මෝල් සියල්ලම ගංවතුරින් යටවීම හේතුවෙන් සහල් නිෂ්පාදනය නතර වීමෙන් වෙළෙඳපොළේ සහල් කිලෝවක මිල රුපියල් දෙක තුනකින් ඉහළ ගොස් තිබෙනවා. මේ බව පැවසුවේ බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා විසින්.
මෙම වී මෝල් ගංවතුරට හසුවන අවස්ථාවේදී ඒවා තුළ රුපියල් බිලියනයක පමණ වී ගබඩා කර තිබූ බවද සභාපතිවරයා පැවසුවා.
ගල්ලෑල්ල සහල් සැකසුම් කලාපයෙන් මධ්‍ය පරිමාණ මෝල්වලින් පමණක් මෙරට සහල් වෙළෙඳපොළට දිනකට සහල් කිලෝග්‍රෑම් ලක්ෂ තුනක සැපයුමක් ලබාදුන් බවද ඔහු පැවසුවා. ගංවතුරට හසුවූ වී සහ සහල් තොග සියයට 70ක් පමණ ඉවත් කිරීමට සිදුවී තිබෙන බවත්, ඉන් කොටසක් කුකුළු සහ ඌරු ආහාර වශයෙන් නිකුත් කළ බවත්, වී මෝල් අඩි 12ක් පමණ උසට සම්පූර්ණයෙන්ම ගංවතුරින් යටවූ බවත් ඔහු පැවසුවා.
මේ අතර, බෝංචි, මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 1,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 900ත් 1000ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති අතර, කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ දිනයේදී බෝංචි කිලෝවක තොග මිල වූයේ රුපියල් 800ත් 1000ත් අතර මිලකි. නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක මිල රුපියල් 1300 ත් 1400 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබුණා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොරතුරු අනුව මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 1000ත් 1200ත් අතර මිලක් දකවා ඉහළ ගොස් තිබිණි. කරවිල කිලෝවක තොග මිල රුපියල් 600ත් 650ත් අතර මිලක් දක්වාද, වැටකොළු කිලෝවක මිල රුපියල් 380ත් 400ත් අතර මිලක් දක්වාද ඉහළ ගොස් ඇති බවයි දැනගන්න ලැබෙන්නේ..