රටේ හරි අඩකටත් වඩා හානි සිදුවෙලා තියන මේ වගේ පසුබිමක, මෙවැනි සහෝදරත්වයේ බැඳීම් මොන තරම් නම් ප්‍රබලද? ඇය 2004 වසරේ අමිහිරි ස්වාභාවික ව්‍යවසනයකට මුහුණදුන්න තැනැත්තියක්.
එහෙම කියනකොට සුනාමියේ රුදුරු මතක ගැන අදටත් බොහෝ දෙනෙකුට ඇත්තේ අමිහිරි මතකම පමණයි.
ඒ විතරක් නෙවෙයි, වසර ගණනකට පසු ඇය මේ අවදි කරන්නේ සංවේදී මතකයක්. හසුනිකා ද සිල්වා, තමන්ට ළමා වියේදී මුහුණ දෙන්න සිද්ධවුණු ඒ අඳුරු අත්දැකීම ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
එදා සුනාමියේ රුදුරු රළට හසු නොවූ ඔවුන්ගේ ශක්තිමත් බැඳීමත්, අද ඇය ඔවුන්වෙනුවෙන් දිගුකරන ඒ ආදරණීය දෑත ගැනත්, මේ තරුණිය මුහුණුපොතට එක්කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්.
"2004 සුනාමි එද්දි මං 9 වසරෙ. පණ බේර ගන්න දුවද්දි අරං යන්න මතක් වෙච්ච එකම දේ නංගි.
රේල් පාර ටිකක් උස නිසා දවල් දවසම රේල් පාරට වෙලා ඉඳපු මාව, රෑට නිදා ගන්න අම්මා බලෙන් ගෙදර ගෙනියපු කාලයක් ඒ..
කොයි වෙලේ ආයෙ දුවන්න වෙයිද දන්නෙ නැති නිසා රෑට පහසු ඇඳුමක් අඳින්න බෑ කියපු, දවස පුරාම ඇඳං ඉඳපු ඩෙනිම් කලිසම ඇඳං නිදා ගත්තු කාලයක් ඒ.ඒක නුවර පැත්තෙන් එවපු ආධාරවලින් ලැබුනු ඩෙනිම් කලිසමක්...
තව පොරවන රෙද්දක් හම්බුනා. එක එක ජාතියෙ පුංචි රෙදි කෑලි එකතු කරලා මහපු. ඒකෙ කොනක පෑනෙන් ලියලා තිබුනා ඒක මහනුවර ට්‍රිනිටි විද්‍යාලයේ ළමයෙක් මහපු එකක් කියලා. නින්ද සෑහෙන දුර ඒ රැයවල් වලදි, නින්ද යනකන් ඒ පොඩි පොඩි රෙදි කෑලිවල රටා දිහා බලාගෙන කල්පනා කරන්න මං පුරුදු වෙලා හිටියා....
හැමදේම මුහුදට ගිහින් මානසිකවත් හොඳටම වැටිලා ඉඳපු ඒ කාලෙ ඒ තත්ත්වෙන් ගොඩ එන්න මට උදව් කරපු ඒ මහනුවරින් එවපු ඩෙනිම් කලිසමයි පොරවන රෙද්දයි වෙනුවෙන් මේ වෙලේ මට කරන්න පුලුවන් හැමදේම මම කරනවා.."
