ඕස්ට්‍රේලියාවේ අන්ත දක්ෂිණාංශික සෙනෙට් සභික පොලින් හැන්සන්ට සෙනෙට් සභාව විසින් දින හතක රැස්වීම් වාර අත්හිටුවා තිබෙනවා.
ඒ අද පැවති රැස්වීමේදීයි.
මන්ත්‍රිනිය විසින් පාර්ලිමේන්තුවේදී බුර්කාවක් දේශපාලන මෙවලමක් ලෙස ඇඳීම මෙම දඬුවමට හේතුවයි.
හැන්සන් විසින් ඉහළ සභාවේදී බුර්කාව ඇඳ සිටියේ, ප්‍රසිද්ධ ස්ථානවල බුර්කා සහ අනෙකුත් මුහුණු ආවරණ තහනම් කිරීමේ පනතක් හඳුන්වා දීමට ඇයට අවසර නොදීමෙන් පසුවයි.
ඇගේ මෙම ක්‍රියාව නීති සම්පාදකයන්ගේ දැඩි දෝෂාරෝපණයට ලක් වුණා.
ඇගේ ක්‍රියාව හේතුවෙන් මුස්ලිම් නීති සම්පාදකයින්ගෙන් ක්ෂණිකව වර්ගවාදයේ චෝදනා එල්ල වුණා.
මෙය හැන්සන් පාර්ලිමේන්තුවේදී බුර්කාවක් ඇඳි දෙවන අවස්ථාවයි.
මීට පෙර 2017 දී ද ඇය රට පුරා එම ඇඳුම තහනම් කරන ලෙස ඉල්ලා මෙම උපක්රමයම සිදු කර තිබුණා.
විදේශ අමාත්‍ය පෙනි වොන්ග් මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළා.
ඇය පැවසුවේ, "හැන්සන් සෙනෙට් සභිකවරියගේ වෛරී සහ නොගැඹුරු සංදර්ශනය අපගේ සමාජ ව්‍යුහය බිඳදමන බව මම විශ්වාස කරනවා. එය ඕස්ට්‍රේලියාව දුර්වල කරන අතරම, අපගේ වඩාත්ම අවදානමට ලක්විය හැකි බොහෝ දෙනෙකුට කුරිරු ප්‍රතිවිපාක ද ඇති කරන්නක් ඕස්ට්‍රේලියානුවන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් අනුගමනය කරන ආගමක් උපහාසයට ලක් කළ බවත්, අපහාස කළ බවත් වොන්ග් වැඩිදුරටත් සඳහන් කළා.
ඇය මෙවැනි ආකාරයේ පාර්ලිමේන්තුවට අගෞරවයක් සිදුවන අවස්ථාවක් මින් පෙර දැක නැති බවද පැවසුවා.
One Nation පක්ෂයේ නායිකාව වන හැන්සන්ට එරෙහි දෝෂාභියෝග යෝජනාව 55-5 න් සම්මත වුණා.
හැන්සන්, ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සෙනෙට් සභිකාවක්.
ඇය 1990 දශකයේ දී ආසියාවෙන් සංක්‍රමණය වීම සහ සරණාගතයින්ට දැඩි ලෙස විරුද්ධ වීම හේතුවෙන් ප්රමුඛත්වයට පත්වූවා.
ඇය දිගු කලක් තිස්සේ ඉස්ලාමීය ඇඳුම්වලට එරෙහිව උද්ඝෝෂණ කරමින් සිටිනවා.
ඇය බුර්කා සම්බන්ධයෙන් තම අදහස් තවදුරටත් තහවුරු කළ අතර, පාර්ලිමේන්තුවට ඇඳුම් පැළඳුම් නීති සංග්‍රහයක් නොමැති බව තර්ක කළා.
හැන්සන් කැන්බරා හිදී මාධ්‍යවේදීන්ට "බැංකුවකට හෝ වෙනත් ස්ථානවලට හිස් ආවරණයක් (හෙල්මට්) පැළඳ ගියහොත් එය ඉවත් කරන්නැයි කියද්දි , බුර්කාවට වෙනස් වන්නේ කෙසේදැයි" යනුවෙන් විමසුවා.
ඇය තම ස්ථාවරයේ සිටින බවත්, ඇය විශ්වාස කරන දේ දිගටම කරන බවත්, ජනතාව තමන්ව විනිශ්චය කරනු ඇති බවත් හැන්සන් ප්‍රකාශ කළා.
නැගී එන ජාතිකවාදී හැඟීම් සහ සංක්‍රමණ විරෝධී ප්‍රතිපත්ති ප්‍රයෝජනයට ගෙන ඇති One Nation පක්ෂය මැයි මාසයේ මහ මැතිවරණයෙන් ආසන දෙකක් ලබා ගනිමින් සෙනෙට් සභා ආසන හතර දක්වා පුළුල් කර තිබෙනවා.
මෑත කාලීන මහජන මත විමසුම්වලින් පෙන්නුම් කර ඇත්තේ හැන්සන්ට සහ One Nation පක්ෂයට ඇති සහාය තවදුරටත් වැඩි වී ඇති බවයි.