නේපාලයේ රැදී සිටියදී අත්අඩංගුවට ගත් ගණේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුලු සැකකරුවන් 06 දෙනා හෙට දිනයේදී මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල පවසනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ සමීපතමයෙකු වන බායි නමැත්තා ද සිටින බවයි පොලිසිය පැවසුවේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ මැදිරි අංක 05 තුළදී වෙඩි ප්රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය පෙබරවාරි 19 වැනිදායි. නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු වෙඩි ප්රහාරය එල්ල කර තිබූ අතර නීතිඥවරියක ලෙස වෙස්වළාගත් කාන්තාවක් ද ඊට සම්බන්ධ වී තිබූ අතර ඔවුන් පලායන ආකාරය සී.සී.ටී.වී. දර්ශනවලද දැක්වුණා.
එම කාන්තාව 26 හැවිරිදි පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි ලෙස පොලිසිය හඳුනාගෙන තිබූ අතර ගනේමුල්ල සංජීවට වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය අපරාධ නඩු විධාන සංග්රහය පොතේ පිටපතක ගිනි අවියක හැඩයට පිටු කපා ඒ තුළ සඟවා ගෙනැවිත් වෙඩික්කරුට ලබාදී ඇත්තේ ඇය විසින් බවටයි අනාවරණ වුණේ.
වෙඩි තැබීමේ සිද්ධියත් සමග ආරක්ෂක අංශ වෙඩික්කරු ලුහුබඳිමින් සිටි අතර හදිසි මාර්ග බාධක යොදා පුත්තලම - පාලවිය ප්රදේශයේ සිදුකළ මෙහෙයුමකදී වෙඩික්කරු ලෙස කටයුතු කළ සමිඳු දිල්ෂාන් පියුමංග පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගැනුණා. කෙසේ වෙතත් නීතිඥවරියක ලෙස වෙස්වළාගෙන පැමිණි 26 හැවිරිදි පිංපුරදේවගේ ඉෂාරා සෙව්වන්දි සොයාගැනීමට නොහැකි වූ අතර ඇය සොය පොලිසිය දිවයිනේ ප්රදේශ රැසක සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කර තිබුණා.
ගනේමුල්ල සංජීව ඝාතනය සැලසුම් කළ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් කණ්ඩායම ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වුණේ එවැනි පසුබිමකයි. ඔවුන් මෙරටට රැගෙන ඒමෙන් පසු කෙහෙල්බද්දර පද්මේගෙන් මේ දක්වා කරන ලද ප්රශ්න කිරීම්වලට අනුව ඉෂාරා සෙව්වන්දි නේපාලයේ රැඳී සිටින බවට අනාවරණ කරගැනීමට හැකිව තිබෙනවා.
ඒ අනුව බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ඇතුළු පොලිස් කණ්ඩායමක් නේපාලය බලා පිටත්ව ගොස් ඇති අතර එහිදී එරට පොලිසියේ ද සහය ඇතිව ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස රැඳී සිටි ස්ථානය සොයාගත් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නේපාලයේ කත්මන්ඩු අගනුවරට කිලෝමීටර කිහිපයක් දුරින් වූ කඳුකර ප්රදේශයක පිහිටි මහල් නිවාසයකදීයී.
ඇයත් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉෂාරා සෙව්වන්දිට සමාන රුවක් ඇති තවත් කාන්තාවක් මෙන්ම කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු ද ඒ අතර සිටින බවයි පොලිසිය සඳහන් කළේ. සමාන රුව සහිත කාන්තාව යොදාගෙන නේපාලයෙන් වෙනත් රටකට පලායාමේ සැලසුමක් ද ඉෂාරා සෙව්වන්දිට පැවැති බවට පොලිසිය සැක කරනවා.
කෙහෙල්බද්දර පද්මේගෙන් කළ ප්රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසු ඉෂාරා සෙව්වන්දි දින 4 ක් මෙරට රැඳී සිට ඇති බවයි. ඒ අතරතුර ඇය මිද්දෙණිය සහ යාපනය ප්රදේශවල සැඟවී සිට ඇති බව සඳහන්. ඒ සඳහා ඇයට උපකාර කර ඇත්තේ යාපනයේ පදිංචිව සිටි න්.ණ. බායි නමැති සිය ගෝලයා බවයි කෙහෙල්බද්දර පද්මේ පවසා ඇත්තේ.
අනතුරුව ඔවුන් ඉන්දියාවට පලාගොස් ගොස් එරට සති තුනක් රැඳී සිට ඇති අතර පසුව නේපාලය වෙත පැමිණ තිබෙනවා. කෙහෙල්බද්දර පද්මේ න්.ණ. බායි සමග වට්ස්ඇප් හරහා ගනුදෙනු කර ඇති අතර ඉෂාරා සෙව්වන්දිට නේපාලයේ රැඳී සිටීම ඇතුළු නඩත්තු කටයුතු වෙනුවෙන් කෙහෙල්බද්දර පද්මේ විසින් අවස්ථා කිහිපයකදී රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබා දී ඇති බවටත් අනාවරණය වූ බවයි පොලිසිය පැවසුවේ.
න්.ණ. බායි සහ ඉෂාරා සෙව්වන්දි මිද්දෙණිය ප්රදේශයේ රැඳී සිටි බවට තොරතුරු පවතින බැවින් පසුගියදා මිද්දෙණිය ප්රදේශයෙන් අයිස් මත්ද්රව්ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්රව්ය සොයාගැනීමේ සිද්ධියට චෝදනා එල්ල වූ සම්පත් මනම්පේරි සමග ඔවුන්ට සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳවත් පරීක්ෂණ පවත්වන බව පොලිසිය පැවසුවා.
මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නන්ගර හෙවත් බස් ලලිත් නමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බවද අද පැවති එම ප්රවෘත්ති සකච්ඡාවේ දී පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළා. ඔහුට ද රතු නිවේදන නිකුත් කර තිබූ බවත්, ඔහු කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.
බස් ලලිත් නමැත්තා ලබාදුන් කොන්ත්රාත්තු මත සිදුවූ අපරාධ රැසක් පිළිබඳව පසුගිය සමයේ අනාවරණ වූ අතර හෝමාගම ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රී ශාන්ත මුදුන්කොටුවට වෙඩිතබා ඝාතනය කිරීම ද ඒ අතරට අයත්.
එමෙන්ම අවිස්සාවේල්ලේදී කොටවෙහෙර පොඩ්ඩා නමැත්තා ඝාතනය කිරීමට තැත් කිරීම සහ කොල්ලුපිටිය රාත්රී සමාජ ශාලාවකදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු ඔහු විසින් සැලසුම් කළ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන්ද දැනට අනාවරණ වී ඇති බව පොලිසිය සඳහන් කළා.
එසේම ලලිත් කන්නන්ගර හෙවත් බස් ලලිත් නැමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට ගත් බවට සැලවීමත් සමග ඔහු කප්පම් ලබා ගැනීම් බහුලවම සිදු කළ බව පැවසෙන හංවැල්ල, පාදුක්ක, වටරැක, මීගොඩ සහ අවිස්සාවේල්ල ප්රදේශවල ජනතාව රතිඤ්ඤා දල්වා සතුට පළ කළ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
VIDEO