මේ හිතා ගන්න බැරි වෙනස්ම විදියේ කතාවක්....
නාවලපිටිය නගරයේ මල්ශාලාවක සේවය කරමින් එහි ඇති මෘත දේහ මිනී රැගෙන යන වෑන් රථයේ තබාගෙන රාත්රී කාලයේදී රන් භාණ්ඩ වෙළඳසැල් හා නිවාස බිඳිමින් සොරකමේ යෙදී සිටියේ යැයි කියන තිදෙනකු ලබන 09 වැනිදා තෙක් රක්ෂිත භාරයේ තැබීමට නාවලපිටිය දිසාවිනිසුරු හා මහේස්ත්රාත් ලසන්ජි රත්නායක නියෝග කළා.
සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ තිස් අටකට ආසන්න රන් භාණ්ඩ ද අත්අඩංගෙුවට ගත් බව නාවලිපටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ අනුරාධපුර කහටගස්දිගිලිය ප්රදේශයේ පදිංචි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු (අයිආර්සී) හා නාවලපිටිය ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
මෙහි ප්රධාන සැකකරු වූ කහටගස්දිගිලිය ප්රදේශයේ පදිංචි අපරාධකරුවා. (අයිආර්සී) මෙම මල්ශාලාවේ මිනි වෑන් රථයේ රියදුරු ලෙස සේවය කරන අතර තවත් පුද්ගලයෙකු එහි මිනී කපන්නා වේ.
අනෙක් සැකකරු මොවුන්ගේ සොරකම්වලට සහය දුන් අයකු බවද පොලිසිය පවසනවා.
සැකකරුවන් මල් ශාලාවට ගෙන යන සහ එයින් රැගෙන එන මළමිනී සහිත කාර් රථය රැගෙන ගොස් මාර්ගයේ නවතා වෙළෙඳසල් සහ නිවාස බිද ඇති බවට තොරතුරු හෙළිව ඇතැයි පොලීසිය පවසනවා.
මල්ශාලාවට අයත් වෑන් රථය මහ රාත්රී නගරයේ නවතා තිබෙනු නිසිවකු හෝ දුටුවද සැක සිතී නැත්තේ ප්රදේශවාසීන්ට එම රථය හුරු පුරුදු නිසා බව පොලිසිය සඳහන් කරනවා.
නාවලපිටිය නගරයේ සුපිරි වෙළඳසල් සංකීර්ණයේ රන් භාණ්ඩ වෙළඳසැලක් කඩා එහි තිබූ රන් භාණ්ඩ සොරාගෙන ගොස් තිබූ අතර සවිකර තිබූ සීසීටීවි කැමරාවල දත්ත පද්ධතියද (DVR) රැගෙන ගොස් තිබුණා. ඒ අකුත් 07 වැනිදා.
මෙම වෙළඳසැලේ රන් භාණ්ඩ අලෙවිය හා උකස් ගැනීමද සිදු කර තිබූ අතර එහි ආරක්ෂාව සඳහා පිටත දොරටුවට අමතරව ඇතුළත ගනකම් වීදුරු සහිත ආවරණයක්ද යොදා තිබූ බව සඳහන් වෙනවා. එසේ වුවද එම රන්භාණ්ඩ ආයතනයට ඇතුළු වූ සොරුන් එය බිඳ රන්භාණ්ඩ සොරාගෙන ගොස් තිබුණා.
සැකකරුවන් රන්භාණඩ වෙළඳසැලෙන් රැගෙන ගිය කැමරාවල දත්ත පද්ධතිය dvr නාවලපිටිය ප්රදේශයෙන් මහවැලි ගඟට දමා ඇති බවද හෙළි වී ඇත.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසියට සී සී ටී වී කැමරා පරීක්ෂා කිරීමේදී මෙම මිනීකාරය දැකගත හැකිවූ බව සදහන්.
සැකකරුවන් සොරකම් කර එම භාණ්ඩ සඟවා තබා ඇත්තේ මිනී එම්බාම් කරන ස්ථානයේ වුවත් තම සේවකයින් මෙලෙස සොරකමේ යෙදෙන බවට මල්ශාලා හිමිකරු දැන නොසිටි බවද හෙළි වී තිබෙනවා.
සොරා ගත් රන් භාණ්ඩ අනුරාධපුර, මහනුවර ,ගිණිගත්හේන, නාවලපිටිය, ගම්පොළ, කහටගස්දිගිලිය, මිහින්තලය ආදී නගරවල උකස් කර තිබියදී සොයා ගත් බව පොලීසිය පවසනවා.
මෙම මුදල් වලින් ප්රධාන සැකකරු මිලදීගෙන ඇති යතුරුපැදියක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.