තාත්තාගේ ආදරේ මහමෙරක් තරම්..
ගොඩක් දෙනෙක් වචනයට පියෙකුගේ ආදරය ගැන නිර්වචනය කරන්නේ අන්න ඒ විදිහට...
මේත් තවත් ඒ වගේ ආදරණීය පියෙක්..
ඒත් මේ තාත්තා සහ දුවගේ සම්බන්ධය හැම කෙනෙක්ම හිතනවාට වඩා වෙනස්.. තමගේ ජීවිතයම වෙනස් කළ ඇයව මේ පියාට අහිමි වෙන්නේ දියණියට වයස අවුරුදු නවයේදීයි..
ඒත් අදටත් ඇය ඔහු සමඟ.. පියාගේ විශ්වාසය නම් එයයි.. මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..
"අද මෙතන නැති වුණත් දුව මං දිහා බලන් ඉන්නවා"
මේ පහත ඡායාරූපය බොහොම විශේෂ එකක්.. එයට ප්‍රධානම හේතුව වෙන්නේ ස්පාඤ්ඤ ජාතික පාපන්දු පුහුණුකරු ලුයිස් එන්රිකේ සහ ඔහුගේ කුඩා දියණිය ෂානා 2014-15 චැම්පියන්ස් ලීග් ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව මෙම ඡායාරූපය ලබා ගැනීමයි..
මේ කාලයේ ස්පාඤ්ඤයේ බාසිලෝනා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ එන්රිකේ එම වර්ෂයේ දිනාගත හැකි සියලුම ජයග්‍රහණයන් බාසිලෝනා වෙනුවෙන් ලබා දුන්නා..
විශිෂ්ට පුහුණුකරුවෙකු මෙන්ම පියෙක් ද වුණ ඔහුගේ 6 හැවිරිදි සිඟිති දියණිය ෂානා මෙම ජයග්‍රහණය සමරන්නේ සාම්ප්‍රදායික කැටලන් වර්ණයන්ගෙන් සමන්විත ධජයක් රැගෙන දිව යමින්.. එන්රිකේත් දියණිය සමගින් ජය සැමරීම ඉතා අපූරු චිත්‍රයක් මැව්වා..
නමුත් එන්රිකේ සහ ෂානා අතරේ මේ අපූරු බැඳීම අවාසනාවන්ත ලෙසින් පැවතුණේ තවත් වසර කිහිපයක් පමණයි.. අවාසනාවන්ත ලෙසින් ෂානාට ඇට මිදුළු ආශ්‍රිත පිළිකාවක් වැළඳී තිබෙන බව වෛද්‍යවරුන් වාර්තා කරනවා..
මේ කාලයේ ස්පාඤ්ඤ ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරපු එන්රිකේ තමන්ගේ දියණියගේ අසනීප තත්ත්වය හේතුවෙන් තාවකාලිකව එම ධූරයෙන් පවා ඉවත් වෙනවා.. 2019 අගෝස්තු මස 29 වෙනිදා ලුයිස් එන්රිකේ තමන්ගේ ජීවිතයේ බොහොම අසීරුම නිවේදනය ලබාදෙනවා..
"අපේ ආදරණීය 9 හැවිරිදි දියණිය ෂානා, මාස 5 කට වඩා පිළිකාවත් සමග සටන් කරලා අද සවස දිව්‍ය ලෝකයට ගමන් කළා.. අපිට ඔබ නොමැති පාළුව හැමදාම දැනේවි.. අපි ජීවත් වෙන හැම දවසකම ඔබව මතක් වේවි.. ඔබව ඉක්මනින්ම අනාගතයේ නැවත හමුවෙන්න බලාපොරොත්තු වෙනවා.. ෂානා, ඔබ තමයි මගේ පවුල මෙහෙයවූ තාරකාව.."
ඒ සංවේදී පණිවුඩයෙන් පස්සේ විශිෂ්ට පුහුණුකරුවෙකු වුණ ලුයිස් එන්රිකේ ගේ දිවිය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.. ඔහු සෑහෙන මානසික පීඩාවකට පත් වුණා.. ඔහු කාලයක් පාපන්දු පිටියෙන් ඉවත් වෙලා හිටියා..
නැවත ස්පාඤ්ඤ ජාතික කණ්ඩායමේ පුහුණුකරු විදිහට එන්රිකේ වැඩ භාරගත්තත් ඒක හිතපු තරම් සාර්ථක අවසානයක් දක්වා ගමන් කළෙත් නෑ..
ඒ සියල්ලෙන්ම වසර කිහිපයකට පස්සේ ලුයිස් එන්රිකේ 2023 වර්ෂයේදී පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායමේ පුහුණුකරු විදිහට වැඩ භාරගන්නවා.. මේක එහෙම ලේසි පහසු රැකියාවක් වුණේ නෑ..
තමන්ගේ පළමු තරගවාරය අවසන් වෙද්දීම කිලියන්ම්බප්පේ පැරිසිය හැර යනවා.. හැම කෙනෙක්ම පැරිස් සෙන්ට් ජර්මෙයින් කාලෙකට ආයෙ නැගිටින එකක් නෑ කියලා හිතුවා.. නමුත් ලුයිස් එන්රිකේ මේ සියල්ලම වෙනස් කරමින් පැරිසිය ක්‍රීඩා සමාජ පාපන්දු පිටියේ ඉහළටම රැගෙන ආවා..
55 හැවිරිදි එන්රිකේ ගේ මෙහෙයවීමෙන් මේ වෙද්දී 2024-25 පාපන්දු තරගවාරයේ ෆ්‍රෙන්ච් සුපර් කුසලානය සහ ප්‍රංශ පාපන්දු ලීගය වන ලීග් 1 තරගාවලිය පැරිස් ජයගෙන අවසන්.. ඔවුන් කොපා ඩි ෆ්‍රාන්ස් කුසලානයේත් අවසන් තරගයට සුදුසුකම් ලබාගෙන තියෙනවා..
ඒ විතරක් නෙමෙයි පැරිස් සෙන්ට් ජර්මෙයින් මේ වෙද්දී ලොව වඩා තරගකාරීම ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලිය වන චැම්පියන්ස් ලීග් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබලා අවසන්.. පැරිස් සෙන්ට් ජර්මෙයින් ක්‍රීඩා සමාජ ඉතිහාසයේම ඔවුන් චැම්පියන්ස් ලීග් අවසන් තරගයකට සුදුසුකම් ලබන්නේ මේ දෙවනි වතාවට..
ඔවුන්ට European Treble එකක් දක්වා ගමන් කරන්නත් පුළුවන්.. ඒක ඓතිහාසික සන්ධිස්ථානයක්..
"දැන් ෂානා හිටියා නම් වයස 16 ක යුවතියක්. ඇය මං ළඟ ශාරීරිකව නොමැති වුණත් සෑම අවස්ථාවකදීම මගේ දිහා බලාගෙන ආශිර්වාද කරනවා ඇති. ෂානා මගේ ළඟින් ඉන්නවා කියලා මට දැනෙනවා."
ලුයිස් එන්රිකේ මේ වෙද්දී කියන්නේ එහෙම.. ඔහුට මේ ජයග්‍රහණය ලබා ගැනීමට අවශ්‍යම වෙලා තියෙන්නේ ෂානා වෙනුවෙන්.. ඒ ඉරණම මැයි මස 31 වෙනිදා විසඳෙන්න නියමිතයි..
දියණියගේ වියෝවෙන් බිඳී ගිය එන්රිකේ වෙනුවෙන් සහ ඔහුගේ දියණිය ෂානා වෙනුවෙන් පැරිස් සෙන්ට් ජර්මෙයින් ක්‍රීඩකයෝ මේ ඓතිහාසික ජයග්‍රහණය සටහන් කරයිද..?"

සමාජමාධ්‍ය ඇසුරෙන්..