සමහර පිරුළු අපේ සමාජයේ එදිනෙදා ව්‍යවහාරයේදී බහුලව කියවෙනවා..
මේකත් අන්න ඒ වගේ ගොඩක් අහන්න දකින්න ලැබෙන පිරුළක්..
"බෙන්තර ගඟෙන් එහා බළල් පැටියෙක්වත් ගේන්න එපා..." මේ කතාව ඇහුවාට ඇයි මෙහෙම කියන්නේ කියලා ඔයාලා දැනගෙන හිටියාද..? මේ කියන්න යන්නේ අන්න ඒ කතාව ගැනයි..
බෙන්තර ගඟෙන් එහා බළල් පැටියෙක්වත් ගේන්න එපා.
මේක වර්තමානයේ වර්තමානයෙත් නිතර භාවිතා වෙන පිරුළු කතාවක්. ඒ පිරුළ හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙමයිලු.
දකුණු පලාත සහ බස්නාහිර පලාතේ මායිම වන්නේ බෙන්තර ගඟයි. ආදි කාලයේ සියනෑ කෝරලයේ වාසය කර මුදලි තුමෙකුට හිටි එකම දරුවා රූමත් දියණියක් පමණයි. තමන් සතු අති විශාල දේපල කන්දරාවේ උරුමක්කාරිය වුණෙත් ඒ දියණියමයි. ඒ නිසා මුදලි තුමා ඔහුගේ පවුලට ගැලපෙන මනාලයෙක් හෙව්වේ බින්න විවාහයකට.
මනමාලයින් ගණනාවක් ආවත් ඒ එකකටවත් අර දියණිය කැමති වුණේ නැහැ. අවසානයේ මගුල් කපුවෙක් යෝජනාවක් ගෙනාවා. ඒ දකුණු පලාතේ තරුණයෙක්ව. ඔහුත් ලොකු පොහොසතෙක්.
ඔහුව දුටු ගමන් මුදලි තුමාගේ දියණියත් ඔහුට කැමති වුණා. බින්න විවාහයකට අකැමැති වුණත් මනමාලියට තිබෙන දේපල දැකලා ඔහුට මෙම යෝජනාවට අකැමැති වෙන්න බැරි වුණා. ඒ නිසා ඔහු බින්න බහින්නට කැමැත්ත ප්‍රකාශ කරා.
විවාහය සිද්ධ වුණා. සිරිතට මනමාලිව කැන්දන් ගියත් සතියකට හමාරකට පස්සේ පොරොන්දුවේ හැටියට මනාලයා මනලියගේ ගෙදර පදිංචි වුණා.
ඒ වුණත් ටික කලක් යනකොට මනාලයාට ඔහුගේ ගෙදරට යන්නම හිතට ආවා. ඒ නිසා ඔහු බිරිඳවත් කැටුව ඔහුගේ ඥාතීන් බලලා එන්නම් කියලා ගිහින් ඔහුගේ ගෙදරම පදිංචි වුණා. බිරිඳත් සැමියාව දාලා එන්න බැරි නිසා ඒ ගෙදරම නැවතුණා.
මේ ගැන මුදලි තුමාට දරා ගන්න බැරි කේන්තියක් ආවත් ඒ තමන්ගේ එකම දරුවා නිසා ඇයව ඉවත දැම්මෙත් නැහැ.
මුදලි තුමා වයසට ගියා. අර දේපලත් බලා ගන්න කෙනෙක් නැතිව අලාපාලු වෙලා යන්න පටන් ගත්තා. දියණියත් තණ්හාකාරියක් නිසා ඇයට හිමි දේපල නැති නාස්ති වෙනවා බලන් ඉන්නට බැරි වුණා.
ඒ නිසා ඇය මුදලි තුමාට යෝජනා කරා එම දේපල බලා ගන්න ඇගේ සැමියාගේ මල්ලිව පියාගේ ගෙදර නතර කරන්නට. මුදලි තුමා ගත් කටටම කිව්වා "බෙන්තර ගඟෙන් එහා ඇස් ඇරපු බළල් පැටියෙක්වත් මෙහාට ගේන්න නම් එපා" කියලා.
එහෙම කියන්න වුණු හේතුව මේකයි.
බල්ලන් සහ බළලුන් ගෘහාශ්‍රිත සතුන් උනත් ඒ දෙගොල්ල කුල දෙකක. බල්ලා වෘක කුලයේ. බළලා බිළාල කුලයේ. බල්ලන්ට කෑම වේලක් දුන්නොත් උන් එම කෑම දෙන කෙනාව දාලා යන්නෙ නැහැ. ඔහුට විශ්වාසවන්තව ඔහු ලඟටම වෙලා ඉන්නවා.
බළලුන් එහෙම නොවෙයි. කොයි තරම් කෑම බීම දුන්නත් තම ජන්ම භූමිය දාලා යන්න කැමති නැහැ. ඇස් ඇරපු ගමන් ගෙනල්ලා හැදුවත් හිටපු තැනට ආපහු යන්නමයි බලන්නේ. බල්ලා නම් තමන්ගේ ස්වාමියා පසු පස යන යන තැන ගියත් බළලා නම් එහෙම යන්නේ නැහැ.
දකුණේ අයත් රටේ හැම තැනම විසිරිලා රැකියා ව්‍යාපාර කරාට තම ජන්ම භූමියට ඉතා ලැදි පිරිසක්. ඒ නිසායි ඒ අයව බළලුන්ට උපමා කරලා තියෙන්නේ.
ඔවුන් රට පුරා වෙසෙන ජනතාව සමග ඉතා සහයෝගයෙන් කටයුතු කරත්, හැකි සෑම විටකම තමන්ගේ ජන්ම භූමියට ආවේණික සංස්කෘතික ලක්ෂණ රැක ගනිමින් ජීවත් වෙන ජන කොටසක් බව නම් කිව යුතුමයි.
අන්තර්ජාලය ඇසුරෙන්..