එයාගේ නම මිහිරි...
එයා හිටියේ මරදාන පැත්තේ ... එයාගේ තාත්තාට වඩේ කරත්තයක් තිබුණා...
ඒක තමයි ගෙදර එකම ආදායම් මාර්ගය වුණේ.. අම්මා හිටියේ නෑ.. අම්මා පොඩි මල්ලි ලැබුණට පස්සේ ඒ මල්ලිවත් දාලා ඔය කොහේද දුර පළාතක මනුස්සයෙක් එක්ක පැනලා ගිහින් තිබුණා... තාත්තා හරියට බිව්වා... හැම වෙලාවෙම නරක වචන කියලා එයාලට බැන්නා... පොඩි මල්ලිව බලාගන්න කෙනෙක් නැති හින්දා ආච්චිට උදව්වෙන්න මිහිරිට , ගෙදර නතර වෙන්න වුණා... ඉස්කෝලේ ගමන අවුරුදු 13දී අත් අරින්න වුණේ එහෙමයි...
තාත්තා ආපහු ගෑණු කෙනෙක්ව බැන්දා... මිහිරි ගේ පවුලේ හතරක් හිටියා , ලොකු මල්ලිලා දෙන්නා ඉස්කෝලේ ගියා... කඩින් කඩ... පැල්පතක් වගේ පොඩි ගෙදරක... ඒ ජිවිතේ ලේසි වුණේ නැහැ ... තාත්තාගේ අලුත් ගෑණු කෙනා මිහිරිට ජිවිතේ අපායක් කරා... අවුරුදු 18 දී මිහිරිව අමිල කියලා කොල්ලෙක් එක්ක පවුල් කන්න යැවුවේ ඔය ගෑනු කෙනා බලෙන්...
අමිල බස් එකක කොන්දොස්තර රස්සාව කලේ ... හැමදාම රෑට බීලා ආවේ.. පුංචි කෙල්ලගේ ජිවිතේ අමු අපායක් වුණා... අමිල මිහිරිට පුදුම වද දුන්නා... ඒවා කියන්නවත් බැහැ ... අමිලට තිබ්බේ විකෘති ආසාවන්.. අමුතු අමුතු දේවල් කරා... මේක මිහිරිට දරා ගන්න බැරි වුණා... අමිල මිහිරිට ආදරේ කලේ නැහැ.. අමිලට ඕනී වුණේ රෑට ඇවිත් ... ඒ ගින්න නිවා ගන්න විතරයි... හවස හය පහුවෙනකොට මිහිරිට බය හිතෙන්න පටන් ගත්තා... රෑ වෙන කොට අත් කකුල් වෙව්ලනවා... එළිවෙනකම් වද විදින්න වෙනවා කියලා දන්න හින්දා... මිහිරිගේ ජිවිතේ වෙනස් වෙන්න පටන් ගත්තේ ඔය කාලෙදි... මිහිරිට දරුවෙක් ලැබෙන්න ඇවිත් තිබුණා.. අමිල ඒක දැන ගත්ත වෙලාවේ හැසිරුනේ යකෙක් වගේ... කම්මුලට ගැහුවා බෙහෙත් හරියට බීලා නැහැ කියලා.. අහිංසක මිහිරි ගොලු වෙලා හිටියා.. බලෙන්ම එක්ක ගිහින් හොර දොස්තර කෙනෙක් ගාවට දරු ගැබ නැති කරා... එතනින් එහාට මිහිරිට දරා ගන්න බරි වුණා... එයා බලාගත්තු අත බලාගෙන ඉන්න පටන් ගත්තා.. කන බොන එක අඩු වුණා... පිරිසිදු කම නැති වුණා .. තනියම කියවන්න පටන් ගත්තා... වෙලාවකට හිනා වුණා.. වෙලාවකට ඇඩුවා.. වෙලාවකට ඇදුම් හරියට අදින්නේ නැතුව පාරේ ඇවිද්දා.. ගෙදර අයට පණිවිඩ පිට පණිවිඩ යැවුවත් කවුරුවත් ආවේ නැහැ... අමිල ගැන ගමේ මිනිස්සු පොලිසියට කියලා තිබ්බා...
පොලිස් කාන්තා කාර්‍යංශයෙන් ඇවිත් මිහිරිව ඉස්පිරිතාලේ නතර කලා... අමිලව පොලිසියෙන් ඇරෙස්ට් කරා...
ඩොක්ටස්ලා කිව්වේ මිහිරිට දරුණු මානසික රෝගයක් කියලා... අහිංසක මිහිරිගේ ජිවිතේ අන්තිමට නතර වුණේ අංගොඩ මානසික රෝහලෙන්...
දැන් අවුරුදු දෙකක් ගෙවිලත් මිහිරිට සිහියක් කල්පනාවක් නැහැ... හැම වෙලාවෙම කොට්ටයක් බබෙක් වගේ වඩා ගෙන ඉන්නවා... එයාගේ බඩේ දරුවෙක් ඉන්නවා කියනවා... සමහර වෙලාවට සතියක් විතර වචනයක්වත් කතා නොකර ඈත බලාගෙන ඉන්නවා...
ඇත්තටම මිහිරිගේ ජිවිතේ හරිම පව්...
ඒ අහිංසකී මොන වරදක් කරාටද ? මෙහෙම ජිවිතයක් උරුම වුණේ...
නම මිහිරි කියලා ලැබුණට අමිහිරිම ජිවිත කතාවක් ලියවුණු තවත් අසරණියකගේ කතාවක් මේ...