ඊට ජනාධිපති අනුර කුමාර දිසානායකද එක්වනවා. එමෙන්ම, ත්‍රස්තවාදය නිමා කිරීමට නායකත්වය දුන් එවක ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක එක්වීමට නියමිත බවයි, ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. ජාතික රණවිරු අනුස්මරණ උත්සවයේ අවසන් පෙර පුහුණුවීම් කටයුතු ඊයේ සිදුකෙරුණා.
කෙසේ වෙතත්, දේශයේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය වෙනුවෙන් දිවිපිදූ හා අතුරුදන් රණවිරුවන් සැමරීමේ උත්සවයට රජය අඩු තක්සේරුවක් දී ඇති බවට පාර්ශ්ව කිහිපයකින් චෝදනා එල්ල වුණා.
මේ අතර, සැමරුම් උත්සවය සම්බන්ධයෙන් පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බි්‍රගේඩියර් සෙනරත් කොහොන ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා මේ සදහා සහභාගී නොවන බවයි.
එහෙත්, රණවිරු ස්මාරකය අසල පෙර පුහුණුවීම් කටයුතු නිරීක්ෂණයට ඊයේ එක්වෙමින්, රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, අද පැවැත්වෙන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට ජනාධිපතිවරයා එක්වීමට නියමිත බවයි.
මේ අතර, සැමරුම් උත්සවය නිමිත්තෙන් බත්තරමුල්ල අවට ප්‍රදේශයේ අද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලිසිය සදහන් කළේ, පස්වරු 4 සිට 6.30 දක්වා මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි. කෙසේ වෙතත්, මාර්ග වසා තැබීමක් සිදුනොකරන අතර, උත්සවය පැවැත්වෙන ප්‍රදේශයේ රථවාහන අවහිරතාවයක් සිදුවුවහොත් පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා පාර්ලිමේන්තු මාර්ගයේ රථ වාහන පිටවීම හා ඇතුලුවීම සීමා කරන බවයි පොලිසිය නිවේදනය කළේ.
එමෙන්ම, යුද්ධයෙන් මියගිය සහ අතුරුදන්වූවන් සිහිකරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ සැමරුම් සංවිධාන කර තිබුණා.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකය අසල සැමරුම් උත්සවයක් පැවැත්වුණා. එම අවස්ථාවට රණවිරු ජීවිත දහස් ගණනක් වෙනුවෙන් අලිමංකඩ දී සිය ජීවිතය පූජා කළ හසලක ගාමිණී රණවිරුවාගේ මව ද ඊට එක්ව සිටියා.
එමෙන්ම, තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරීමට දිවි හිමියෙන් කැපවූ, රට එක්සේත් කළ රණවිරුවන් ඇගයීම වෙනුවෙන් පිංකමක් තිස්සමහාරාම රජමහා විහාරයේදී සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ සහභාගීත්වයෙන්.
මේ අතර, දියත උයනේ සිට පාර්ලිමේන්තු රණවිරු ස්මාරකය දක්වා පාගමනක් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සේරුනුවර - මාවිල්ආරු සොරොව්ව අසල ද පැන් වඩා මතක වස්ත්‍ර පූජා කර රණවිරුවන් සිහිපත් කිරීමක් ඊයේ සිදුකෙරුණා.
මේ අතර, යුද්ධයෙන් මියගිය සහ අතුරුදන් වූ පිරිස සිහි කරමින් මුල්ලිවයික්කාල් හිදී අනුස්මරණ උත්සවයක් පැවැත්වුණේ ඔවුන්ගේ ඥාතීන්ගේ ද සහභාගීත්වයෙන්. එමෙන්ම, මියගිය පිරිස සිහිකරමින් වැල්ලවත්ත වෙරළ තීරයේදී ද තවත් සැමරුමක් ඊයේ පැවැත්වුණේ දැඩි පොලිස් රැකවල් මධ්‍යයේයි. සිවිල් සංවිධාන කිහිපයක් මෙය සංවිධාන කර තිබූ අතර එහිදී පහන් දල්වමින් මියගිය පිරිස සිහිපත් කෙරුණා